නාවික හමුදාවෙන් නිෂ්පාදිත තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර රජයේ රෝහල් වෙත බෙදාදීම සෞඛ්‍ය අමාත්‍යතුමන්ගේ ප්‍රධානත්වයෙන්

තැලසීමියා රෝගීන් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර බෙදාදීමේ සිව්වන අදියර, අද (05) නාවික හමුදා මූලස්ථානයේදී ගරු සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය, වෛද්‍ය රාජිත සේනාරත්න මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම අවස්ථාවට, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනුර ජයවික්‍රම මහතා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය පීජී මහීපාල මහතා, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා, නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල් සෞඛ්‍ය හා සේවා වෛද්‍ය රියර් අද්මිරාල් නිකලස් ජයසේකර මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් (වෛද්‍ය සේවා I) වෛද්‍ය ලක්ෂ්මී සෝමතුංග මහත්මිය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් (මහජන සෞඛ්‍ය සේවා I) වෛද්‍ය සරත් අමුණුගම, අධ්‍යක්ෂ නාවික ව්‍යාපෘති හා සැලසුම් කොමදෝරු රසික දිසානායක හා නාවික හමුදා මූලස්ථානයට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද එක්විය.

තැලසීමියා රෝගී තත්ත්වය හේතුවෙන් රුධිරයේ අඩංගු යකඩ ශරීරය තුළ එක්රැස් වන අතර, නැවත නැවත රුධිරය ලබාගැනීමේදී ද මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය වේ. එබැවින් ශරීරය තුළ එකතු වන යකඩ ඉවත් කිරීම සඳහා මෙම තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර රෝගීන් හට අත්‍යාවශ්‍ය වේ. එම රෝගීන් හට ප්‍රතිකාර කිරීමේ පහසුව සඳහා නාවික හමුදා සමාජ සුභසාධන ව්‍යාපෘතිය යටතේ මෙම නික්ෂේපණ යන්ත්‍ර නිෂ්පාදනය කර නොමිළේ රජයේ ‍රෝහල් වෙත බෙදාදීම සිදුකෙරේ.

කොළඹ, කුරුණෑගල, අනුරාධපුර, මඩකලපුව, මොණරාගල, පුත්තලම සහ අම්පාර ප්‍රදේශයන්හි රජයේ රෝහල් වෙත නික්ෂේපණ යන්ත්‍ර 258ක් බෙදාදීම සංකේතවත් කරමින් රෝගී දූ දරැවන් දස දෙනෙකු වෙත නික්ෂේපණ යන්ත්‍ර බෙදාදීම මෙම උත්සවයේදී සිදු කෙරිණි.

වෙළඳපොලෙහි ඇති තැලසීමියා යන්ත්‍ර මිලදී ගැනීම සඳහා අධික වියදමක් දැරීමට සිදුවන බැවින් බොහෝ රෝගීන් හට එම යන්ත්‍ර මිලදී ගැනීමේ හැකියාවක් නොමැත. මෙම ගැටලුවට පිළියමක් වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය, ස්වකීය සම්පත් හා දැනුම උපයෝගී කරගනිමින් ඉතා අඩු වියදමකින් යුත් නික්ෂේපණ යන්ත්‍රයක් නිපදවීම කෙරෙහි යොමුවිය. ඒ අනුව අඩු වියදමකින් නිෂ්පාදනය කෙරුණු මෙම යන්ත්‍ර වෙළඳපොලෙහි ඇති නික්ෂේපණ යන්ත්‍ර වලට වඩා ඉතා උසස් මට්ටමේ පවතින බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ද නිර්දේශය වී ඇති බැවින් රජයේ රෝහල් හි භාවිතය සඳහා බෙදාදීම සිදු කෙරේ.

මෙහි පළමු අදියර යටතේ 2011 ජූලි මස 28 වන දින නික්ෂේපණ යන්ත්‍ර 50ක්ද, දෙවන අදියර යටතේ 2012 මැයි 16 වන දින නික්ෂේපණ යන්ත්‍ර 200ක්ද, තෙවන අදියර යටතේ 2014 මැයි 08 වන දින නික්ෂේපණ යන්ත්‍ර 239ක්ද රජයේ රෝහල් වෙත පරිත්‍යාග කෙරුණි. රටෙහි සමස්ථ අවශ්‍යතාවය වෙනුවෙන් මෙම යන්ත්‍ර ඉදිරියේදීත් නිපදවීමට නාවික හමුදාව කටයුතු කරමින් සිටියි.