තිළිණ මල්ල ජයග්‍රාහකයින් හට ත්‍යාග ප්‍රදානය කෙරේ
 
 

නිත්‍ය සහ ස්වේච්ඡා නාවික යහසාධක අරමුදලේ තිළිණ මල්ල වාර්ෂික දිනුම් ඇදීමේ ත්‍යාග ප්‍රදානෝත්සවය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (7) ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ ප්‍රදීපාගාර ප්‍රිය සම්භාෂණ ශාලාවේදී පැවැත්විණි. නිත්‍ය සහ ස්වේච්ඡා නාවික යහසාධක අරමුදලේ ගිණුම් හිමි සියළුම නාවික පුද්ගලයන් එම දිනුම් ඇදීම සඳහා සුදුසුකම් ලැබීය.

ත්‍රීරෝද රථ 03 ක්, යතුරුපැදි 03 ක්, ත්‍රිමාණ රූපවාහිනියක්, ලැප්ටොප් පරිගණක 16 ක්, එල්ඊඩී රූපවාහිනී 15 ක්, හෝම් තියටර් යන්ත්‍ර 15 ක් සහ ජංගම දුරකථන 15 ක් නිත්‍ය නාවික යහසාධක අරමුදලේ දිනුම් ඇදීමේ ජයග්‍රාහකයන් හට ත්‍යාග වශයෙන් පිරිනැමුනු අතර, ත්‍රීරෝද රථ 02 ක්, යතුරුපැදි 02 ක්, ලැප්ටොප් පරිගණක 10 ක්, එල්ඊඩී රූපවාහිනී 10 ක් සහ අති නවීන ශ්‍රවණ යන්ත්‍රයක් (Hi-Fi Setup) ස්වේච්ඡා නාවික යහසාධක අරමුදලේ දිනුම් ඇදීමේ ජයග්‍රාහකයන් හට ත්‍යාග වශයෙන් පිරිනැමිණි.

යහසාධක අරමුදලේ සාමාජිකත්වය දරණ නිත්‍ය සහ ස්වේච්ඡා නාවික පුද්ගලයන් හට සහනදායී පොලී අනුපාතයන් යටතේ පුද්ගලික ණය ලබාගැනීමේ අවස්ථාව ඇතුළු තවත් ප්‍රතිලාභයන් රැසක් හිමිකර ගැනීමේ අවස්ථාව උදා කර දී ඇත. එමෙන්ම, වාර්ෂිකව පවත්වනු ලබන තිලිණ මල්ල දිනුම් ඇදීම තුළින් එහි සාමාජික සාමාජිකාවන්හට ඉතා වටිනා ත්‍යාගයන් දිනා ගැනීමේ අවස්ථාව ද හිමි කර දී ඇත.