“අපි වෙනුවෙන් අපි” නිවාස ව්‍යාපෘතියෙන් නාවික හමුදාවට නිවාස 19ක්
 

“අපි වෙනුවෙන් අපි” නිවාස ව්‍යාපෘතියේ 2015 දෙවන අදියර යටතේ නිවාස 19ක් නාවික හමුදා රණ විරුවන්ට හිමි විය. එම නිවාසයන්හි යතුරු ප්‍රදානය, ගරු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක සේවා විද්‍යාල ශ්‍රවනාගාරයේ දී ජනවාරි මස 07 දින පැවැත්විණි. මීට සමගාමීව, අර්ධ වශයෙන් ඉදිකළ නිවාස හිමි නාවික රණවිරුවන් 69 දෙනෙකුගේ නිවාසයන්හි වැඩ නිම කර ගැනීමට රුපියල් 750,000/= ක වටිනාකමින් යුත් ගොඩනැගිලි ද්‍රව්‍ය ලබාගැනීමට අදාළ සහතිකපත් ප්‍රදානය කිරීමක් ද මෙහිදී සිදු කෙරිණි.

මෙම නිවාස 19න් නිවාස 15ක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද, තවත් නිවාස 04ක් මුලතිව් දිස්ත්‍රික්කයේ ද පදිංචි නාවික හමුදා සාමාජිකයින් වෙත හිමි විය. මව්බිමේ ආරක්ෂාව වෙනුවෙන් කැපවී සිටින රණවිරුවන්ට උපහාරයක් වශයෙන් සිදුකෙරෙන මෙම නිවාස ව්‍යාපෘතිය ආරක්ෂක ලේකම් තුමන්ගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කරනු ලබයි.

මෙම අවස්ථාවට ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා, යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිශාන්ත ද සිල්වා මහතා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා සහ රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් ඇතුළු ත්‍රිවිධ හමුදා පවුල්වල සාමාජිකයින් විශාල පිරිසක් ද සහභාගී විය.