නාවික නිලධාරීන් 167 දෙනෙකු ජවහර්ලාල් නේරු විශ්වවිද්‍යාලයෙන් තාක්ෂණවේදී උපාධිය ලබයි
 

ජවහර්ලාල් නේරු විශ්වවිද්‍යාලයෙන් තාක්ෂණවේදී උපාධිය සම්පූර්ණ කරන ලද නාවික නිලධාරීන් 167 දෙනෙකු හට ජනවාරි මස 12 වන දින බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උපාධි ප්‍රදාන උත්සවයේ දී උපාධි පිරිනැමිණි. උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආරක්ෂක ලේකම්, ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා සහභාගී වූ අතර, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා විසින් ඔහු පිළිගන්නා ලදී. මෙම අවස්ථාවට ජවහර්ලාල් නේරු විශ්වවිද්‍යාලයේ උපකුලපති සුධීර් කුමාර් සොපොරි මහතා ද ප්‍රධාන ආරාධිතයකු වශයෙන් සහභාගී විය.

ශ්‍රී ලංකා නාවික හමුදාව හා සිවාජි ඉන්දීය නාවික මධ්‍යස්ථානය ඒකාබද්ධව සංවිධානය කරන ලද මෙම විශේෂ උපාධි ප්‍රධානෝත්සවයේ දී නාවික නිලධාරීන් 88 දෙනෙකු යාන්ත්‍රික ඉංජිනේරු අංශයේ තාක්ෂණවේදී උපාධියත්, නාවික නිලධාරීන් 79 දෙනෙකු විද්‍යුත් ඉංජිනේරු අංශයේ තාක්ෂණවේදී උපාධියත් හිමි කර ගන්නා ලදී. තාක්ෂණවේදී උපාධිය සඳහා ජවහර්ලාල් නේරු විශ්වවිද්‍යාලයේ පිළිගත්, ඉන්දීය රාජ්‍ය ආරක්ෂක ආයතනයක් වන සිවාජි ඉන්දීය නාවික මධ්‍යස්ථානය වෙතින් ශාස්ත්‍රීය අධ්‍යයනය හදාරා ඔවුන් සිය උපාධිය සම්පූර්ණ කර ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නෞකා හා යාත්‍රාවන් හි මෙහෙයුම් හැකියාවන් වැඩිදියුණු කිරීම සඳහා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන නාවික ඉංජිනේරු නිලධාරීන් පුහුණු කිරීම වෙනුවෙන් ඉන්දීය රජය දක්වන සහාය, උපාධි ප්‍රදානෝත්සවය ඇමතූ ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතාගේ ඇගයීමට ලක්විය. එහිදී නාවික හමුදාවේ කෘතවේදීත්වය සනිටුහන් කරමින් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා විසින් ජවහර්ලාල් නේරු විශ්වවිද්‍යාලයේ උපකුලපති තුමන් වෙත විශේෂ සමරු තිළිනයක් ද ප්‍රදානය කෙරිණි.