නාවික හමුදා පිල ජාතික දැල්පන්දු ශූරතාවය දිනා ගනියි
 
 

ශ්‍රී ලංකා නාවික හමුදාව ලකුණු 53-52 වශයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව පරදා ජාතික දැල් පන්දු ශූරතාවය දිනා ගැනීමට සමත්විය. එම අවසන් තරගය 2016 ජනවාරි මස 31 වන දින අනුරාධපුර උතුරුමැද ක්‍රීඩාංගණ සංකීර්ණයේදී පැවැත්විණි.

සුවිශේෂී දක්ෂතා පෙන්නුම් කරමින් සාමාන්‍ය කාන්තා නාවික දුලාංගි වන්නිතිලක දැල්පන්දු රැජින ලෙස අභිශේක ලැබූ අතර, සාමාන්‍ය කාන්තා නාවික ලක්මාලි බණ්ඩාර හොඳම විදින්නිය බවට පත් වෙමින් ප්‍රථම ජාතික දැල් පන්දු ශූරතාවය නාවික හමුදාවට ලබා දීමට දායක විය.

ශ්‍රී ලංකා දැල් පන්දු සංගමය විසින් සංවිධානය කරන ලද ජාතික දැල්පන්දු ශූරතාවලිය සඳහා කණ්ඩායම් 18 ක් සහභාගී වූ අතර, අවසන් පුර්ව වටයේදී ලකුණු 37-3 ක් ලෙස බදුල්ල පිල පරදවා අර්ධ අවසාන වටයට සුදුසුකම් ලැබූ නාවික හමුදා පිල එහිදී ලකුණු 54-12 ක් වශයෙන් කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨ පිල පරාජය කරමින් අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබීය.