අතුරුදහන් වූ ධීවරයින්ගේ මළ සිරුරු නාවික හමුදාවෙන් සොයා ගනියි
 

පසුගිය 29 වන දින ගාලු ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය “සාගර පුතා 3” බහුදින ධීවර යාත්‍රාව ජනවාරි 31 වන දින කුඩා රාවණා කොටුවට නාවික සැතපුම් 40ක් පමණ ගිණිකොන දෙසින් වූ ඈත දියඹේ දී  වෙළඳ නෞකාවක ගැටීමෙන් අනතුරට පත් විය. එම අනතුර නිසා එහි ගමන් ගත් ධීවරයින් 6 දෙනෙකුගෙන් පස් දෙනෙකුම අතුරුදහන් වූ අතර, වෙනත් බහු දින ධීවර යාත්‍රාවක් මගින් අනතුරට පත් එක් ධීවරයකු බේරා ගැනීමට සමත් විය. මෙම අනතුර පිළිබඳව ශ්‍රී ලංකා ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් සිදුකළ දැනුම් දීමකට අනුව ක්ෂණිකව ක්‍රියාත්මක වූ නාවික හමුදාව පී 450 සහ 485 යන වේග ප්‍රහාරක යාත්‍රා දෙක අතුරුදහන් වූ ධීවරයින් සෙවීම සඳහා කඩිනමින් පිටත් කර හැරිණි. ඒ අනුව නාවික හමුදාවේ කිමිදුම් කරුවන්ගේ ද සහාය ඇතිව දැල් වල පැටලී තිබූ ධීවරයින් පස් දෙනාගේ මළ සිරුරු අද (02) සවස සොයා ගැණුනු අතර, එම මළ සිරුරු නාවික හමුදාවේ වේග ප්‍රහාරක යාත්‍රා මගින් ගාලු ධීවර වරාය දක්වා රැගෙන ඒමෙන් පසු ඉදිරි කටයුතු සඳහා ‍ගාලු වරාය පොලීසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.