ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී පුහුණුව නිමකළ මධ්‍ය නිලධාරීන් අසූ එක් දෙනෙකු ජනපති අතින් අධිකාරියට පත් කෙරේ

53 වන බඳවා ගැනීමට අයත් මධ්‍ය නිලධාරීන් 81 දෙනෙකු සිය මූලික පුහුණුව අවසන් කිරීමෙන් පසු අද (2) ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ ප්‍රධාන සරඹ පිටියේ පැවැත්වූ ඉතා විචිත්‍රවත් අධිකාරියට පත් කිරීමේ උළෙලකින් පසු විසිර යන ලදී. නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ආරාධනාවකට අනුව සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී විය.

රැස්ව සිටි පිරිස ඇමතූ අතිගරු ජනාධිපතිතුමන් අධිකාරියට පත් කරන ලද නව නාවික නිලධාරීන් ඔවුන්ගේ ඉදිරි නාවික හමුදා වෘත්තීය තුළින් උසස් ප්‍රථිපල ලබා ගැනීමට බලාපොරොත්තුවන්නා සේම දේශයද ඔවුන්ගෙන් උසස් සේවයක් අපේක්ෂා කරන බව ප්‍රකාශ කරන ලදී. දිවයින් රාජ්‍යයක් වන ශ්‍රී ලංකාවේ ප්‍රථම ආරක්ෂක වළල්ල ලෙස නාවික හමුදාව කටයුතු කරන බව ප්‍රකාශ කළ ජනාධිපතිතුමා, සිය පුහුණුවීම් අවසන් කර විසිර යන නව නාවික නිලධාරීන් අභියෝග සහ වගකීම් රාශියක් පැවරෙන අනාගත නාවික හමුදාවට නායකත්වය ලබා දෙනු ඇති බව සහ අවශ්‍ය වෘත්තීය දැනුම ලබා ගනිමින් ඔවුනට පැවරෙන රාජකාරීන් කාර්යක්ෂමව ඉටු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවද එතුමන් වැඩිදුරටත් සඳහන් කරන ලදී.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ගරු ඔස්ටින් ප්‍රනාන්දු මහතා, තිරසාර සංවර්ධන හා වනජීවි අමාත්‍ය ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා, ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා, නැගෙනහිර නාවික විධාන ආඥාපති රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා, නාවික හමුදාවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරුන්, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු නන්දන ජයරත්න මහතා, ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ විසිර යන නිලධාරීන්ගේ දෙමාපියන් නාවික සම්ප්‍රදායානුකූලව පැවති  අධිකාරියට පත් කිරීමේ උත්සවය සඳහා සහභාගී වූහ.

පුහුණුවීම් කාල සීමාව තුළදී විශිෂ්ඨ දක්ෂතා දැක්වූ නිලධාරීන් හට එහිදී විශේෂ සම්මාන සහ තිළිණ ප්‍රධානය කළ අතර,  මධ්‍ය නිලධාරී ඩීඑම්එච්ඩී විමලරත්න සමස්ත විෂයයන්ගෙන් වැඩිම ලකුණු ලබා ගනිමින් සම්මානනීය අසිපත හිමි දක්ෂතම මධ්‍ය නිලධාරියා බවට පත්විය. මධ්‍ය නිලධාරී කේඑස්පී පෙරේරා නාවික විෂයයන්ගෙන් ඉහළම ලකුණු ලබා ගත් මධ්‍ය නිලධාරියා ලෙස සම්මාන හිමි කරගත් අතර, දක්ෂතම ක්‍රීඩකයා වශයෙන් මධ්‍ය නිලධාරී එන්ඩබ්ලිව් ලොකුලියන සහ හොඳම ඉලක්කරු වශයෙන් මධ්‍ය නිලධාරී සීපීඑස් වික්‍රමවර්ධන විසින් එහිදී සම්මාන ලබා ගන්නා ලදී.  

නාවික හමුදා සංස්කෘතික කණ්ඩායම විසින් ඉදිරිපත් කරනු ලැබූ විචිත්‍රවත් සංස්කෘතික සංදර්ශණයකින් සහ නාවික හමුදා වාද්‍ය වෘන්දය විසින් ඉදිරිපත් කරන ලද සංදර්ශණයකින් අනතුරුව නාවික සම්ප්‍රදායන්ට අනුකූලව සිදු කරන ලද හිරු අස්ථය චාරිත්‍රයත් සමගින් නිලධාරීන් අධිකාරියට පත් කිරීමේ උළෙල නිමාවට පත් විය.