ඉන්දු-ලංකා අන්න්‍යෝන්‍ය සුහදත්වය වර්ධනය කරමින් සාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය සාර්ථකව නිමාවට පත්වෙයි
 

ඉන්දු-ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ පිහිටි ශ්‍රී ලංකාවට අයත් කච්චතිව් දූපතේ ඓතිහාසික සාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය මෙවරත් අති උත්කර්ශවත් අයුරින් පැවැත්විණි. ශ්‍රී ලංකා නාවික හමුදාවේ පූර්ණ අධීක්ෂණ යටතේ පැවැත්වුණු මෙම මංගල්‍යය සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය වෙතින් රුපියල් මිලියන 2.5ක මුදලක් වෙන් කර තිබුණි. අද උදෑසන (21) පැවති එහි ප්‍රධාන දේව මෙහෙය සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඇතුළු නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා නාවිකයින් විශාල පිරිසක් ද සහභාගී විය.

මෙවර මංගල්‍යය සඳහා ශ්‍රී ලාංකික ක්‍රිස්තියාණි බැතිමතුන් 4605ක් හා ඉන්දීය බැතිමතුන් 3248ක් පැමිණ සිටි අතර, පූජකතුමන්ලා සහ කන්‍යා සොහොයුරියන් විශාල පිරිසක් ද එක්ව සිටියහ. එහි ප්‍රධාන දේව මෙහෙය යාපනය දියෝකීසිය භාර අගරදගුරු ජස්ටින් ඥානප්‍රකාශම් පියතුමන් විසින් සිදු කෙරිණි.

කච්චතිව් මංගල්‍යය සඳහා සහභාගී වීමට පැමිණි ඉන්දීය බැතිමතුන් හට මෙරට මුහුදු සීමාව දක්වා පැමිණීමට ඉන්දීය නාවික හමුදාවේ සහ වෙරළාරක්ෂක බලකායේ ආරක්ෂාව ලබාදුන් අතර, එතැන් සිට කච්චතිව් දූපත දක්වා පැමිණීමට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ආරක්ෂාව සපයා දෙනු ලැබිණි. ඔවුන්ට අවශ්‍ය ආහාර, පානීය ජලය, සනීපාරක්ෂක පහසුකම්, තාවකාලික මංමාවත් හා ජැටි සකස් කර දීම, විදුලි බල පහසුකම් සලසා දීම නාවික හමුදාව මගින් සිදු කෙරිණි. එමෙන්ම බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා ජීවිතාරක්ෂක කණ්ඩායම් යෙදවීමටත්, වෛද්‍ය පහසුකම් සැලසීම සඳහා වෛද්‍යවරයකුගෙන් සමන්විත වෛද්‍ය කණ්ඩායමක් යෙදවීමටත් නාවික හමුදාව කටයුතු කොට තිබුණි.