9 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය සඳහා නාවික හමුදාවේ සහාය
 
 

මිත්‍රත්වය හා අවබෝධය යන තේමාව යටතේ ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය සංවිධානය කරන ලද 9 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය පෙබරවාරි මස 26 වන දින යාපනය නගර සභා ක්‍රීඩාංගණයේදී සාර්ථකව නිමාවට පත් විය. දෙස් විදෙස් බාලදක්ෂයින් 10,000 ක් පමණ සහභාගී වූ ජම්බෝරියේ ආරම්භය සනිටුහන් කිරීමේ උත්සවය සඳහා සන්නද්ධ සේවා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහභාගී විය.

උතුරු පළාතේදී ජාතික බාලදක්ෂ ජම්බෝරියක් පැවැත්වූ ප්‍රථම අවස්ථාව මෙය වන අතර, ජම්බෝරිය සාර්ථක කර ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් විශේෂ දායකත්වයක් ලබා දෙන ලදී. ජලය ආශ්‍රිත ක්‍රියාකාරකම්, ගැට හා ජීවිතාරක්ෂක උපකරණ පිළිබද දැනුම, නාවික හමුදාව සතු නෞකා හා යාත්‍රාවන්ගේ ආකෘතීන් හා ඒවා පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහන් නාවික හමුදාවේ දායකත්වයෙන් එහිදී සිදු කෙරිණි. උතුරු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ උතුරු නාවික විධානයට අයත් නිලධාරීන් සහ නාවිකයන් ජම්බෝරිය සාර්ථක කර ගැනීම සඳහා ලබා දුන් දායකත්වය ‍ගුරුවරුන්ගේ මෙන්ම දරු දැරියන්ගේද ප්‍රශංසාවට ලක් විය.