රුසියානු නාවික හමුදාවේ “ඒප්‍රන්” නෞකාව කොළඹ වරායට පැමිණෙයි
 

රුසියානු නාවික හමුදාවේ “ඒප්‍රන්” නැමැති මුදවාගැනීමේ නෞකාව සුහද චාරිකාවාරයක් සඳහා අද (3) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, නාවික හමුදා සම්ප්‍රදායන්ට අනුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලදී.

දිගින් මීටර් 89.7 ක් සහ ටොන් 3,380 ක ධාරිතාවයකින් යුක්ත නෞකාවේ කාර්යය මණ්ඩලය නාවික පුද්ගලයන් 138 දෙනෙකුගෙන් සමන්විත වේ. කපිතාන් (තෙවන නිලය) ඩෙනිස් ඒ බර්ග්ස් මහතා නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් කටයුතු කරනු ලබයි.

නෞකාවේ බළඝන අණදෙන නිලධාරී වශයෙන් කටයුතු කරන කපිතාන් (පලමු නිලය) සර්ගෙයි වී ඉග්නැටෝව් මහතා සහ නෞකාවේ අණදෙන නිලධාරී කපිතාන් ඩෙනිස් ඒ බර්ග්ස් මහතා බටහිර නාවික විධාන මූලස්ථානයේ දී විධාන ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතා හමුවී සුහද කතාබහක නිරත විය. එහිදී මෙම නිල හමුව සනිටුහන් කරමින් ඔවුන් අතර සමරු තිලිණ හුවමාරුවක් ද සිදුකෙරිණි. එම නිලධාරීන් අද (3) දහවල් නාවික හමුදා මූළස්ථානයේ දී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවීමට ද නියමිතය.

ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාළය තුළ එහි නැව් මුළුව කොළඹ, ගාල්ල සහ මහනුවර ප්‍රදේශයන් හි විශේෂ ස්ථාන නැරඹීම සඳහා සංචාරය කරනු ඇති අතර, තෙදින නිල සංචාරය නිමා කරමින් මාර්තු මස 5 වන දින දිවයිනෙන් පිටත්ව යනු ඇත.