ලාංකික ධීවරයින් තිදෙනෙක් සහ නිධන් හාරමින් සිටි පිරිසක් නාවික හමුදා අත්අඩංගුවට
 

මන්නාරම, සිලාවතුර “ථේරපුත්ත” නාවික හමුදා කඳවුරට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් සිලාවතුර මුහුදු තීරයේ නීති විරෝධී ධීවර කටයුතු වල නිරතව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් තිදෙනෙකු සමග ඩිංගි යාත්‍රාවක් පසුගිය අඟහරුවාදා (2) උදෑසන අත්අඩංගුවට ගන්නා ලදී. එහිදී ඔක්සිජන් සිලින්ඩර් 10ක්, කිමිදුම් මුහුණු ආවරණ 2ක්, කිමිදුම් වරල් යුගල් 4ක්, ග්‍රෑම් 450ක බරකින් යුත් පොකිරිස්සන් දෙදෙනෙක් හා මුහුදු කූඩැල්ලන් 60ක් ද නාවික හමුදා අත්අඩංගුවට පත්විය. අත්අඩංගුවට ගත් ධීවරයින් හා ආම්පන්න ඉදිරි විමර්ශණ කටයුතු සඳහා සිලාවතුර පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

එදිනම දහවල් පුත්තලම “තම්බපණ්ණි” නාවික හමුදා කඳවුරට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් මුන්දලම පොලිසියේ ද සහාය ඇතිව මුන්දලම කඩයමොටායි ප්‍රදේශයේ නිධන් හාරමින් සිටි පුද්ගලයින් 5 දෙනෙකු සමග නිධන් හෑරීම සඳහා යොදාගත් ආම්පන්න තොගයක් අත්අඩංගුවට ගැනීමට සමත් විය. එහිදී ඔවුන්ට අයත් වෑන් රථයක් ද අත්අඩංගුවට පත්වූ අතර, ඉදිරි විමර්ශණ කටයුතු සඳහා එම වෑන් රථය සමග පුද්ගලයින් 5 දෙනා සහ ආම්පන්න මුන්දලම පොලිසිය වෙත භාරදීමට කටයුතු කරන ලදී.