නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට යාමට උත්සාහ කළ ලාංකිකයින් 17 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නීති විරෝධී ලෙස මුහුදු මගින් ඕස්ට්‍රේලියාවට යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු අද (5) අළුයම 02.30ට පමණ ගාල්ල ප්‍රදීපාගාරයට නාවික සැතපුම් 40ක පමණ දකුණින් වූ මුහුදු ප්‍රදේශයේ දී ශ්‍රී ලංකා නාවික හමුදාවේ සුරනිමල නෞකාව මගින් අත්අඩංගුවට ගන්නා ලදී. මෙම පිරිස අතර කාන්තාවක්, කුඩා ගැහැණු ළමුන් දෙදෙනෙක් සහ කුඩා පිරිමි දරුවන් දෙදෙනෙක් ද විය. මාර්තු මස 1 වන දින “වින්දන 3” නැමති බහුදින ධීවර යාත්‍රාව මගින් මීගමුව ප්‍රදේශයෙන් මෙම පිරිස පිටත්ව ගොස් ඇති අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව ලද බුද්ධි තො‍රතුරක් මත මෙම පිරිස අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදී.

අත්අඩංගුවට ගත් පිරිස නාවික හමුදාවේ පී 414 යාත්‍රාවේ ද සහාය ඇතිව ගාලු වරාය වෙත රැගෙන ඒමෙන් පසුව ඉදිරි විමර්ශණ කටයුතු සඳහා ගාල්ල පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.
 
සංක්‍රමණික නීතිය දැඩිව ක්‍රියාත්මක වන ඕස්ට්‍රේලියාවට නීති විරෝධී ක්‍රම මගින් කිසිසේත්ම යා නොහැකි අතර, ඒ සඳහා උත්සාහ කරන පුද්ගලයින් හට මිනිස් ජාවාරම්කරුවන්ගේ බහට රැවටී ජීවිත අවදානමට ලක්කර ගැනීමටත්, ධනය විනාශ කර ගැනීමටත්, අවසානයේ නීතියෙන් වරදකරුවන් වී බන්ධනාගාර ගතවීමෙන් අනාගතය අඳුරු කරගැනීමටත් සිදු වනු ඇත. ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් සිදු කරන නිරන්තර මුර සංචාරයන් හා වෙරළ තීරය වටා ක්‍රියාත්මක වන බුද්ධි තොරතුරු ජාලය ඔස්සේ කිසිවෙකුටත් නීති විරෝධී සංක්‍රමණයන් සිදු කිරීමට කිසිදු විටෙක ඉඩ ප්‍රස්ථාව නොලැබේ.