නාවික හමුදාව වව්නියාවේ ප්‍රති ආශ්‍රැත ජල පද්ධතියක් ස්ථාපනය කරයි
 

ශ්‍රී ලංකා නාවික හමුදා ප්‍රජා සත්කාරක වැඩසටහන යටතේ වව්නියාව, ඉරට්ටේ පෙරියකුලම් ප්‍රදේශයේ ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරාලීම සඳහා  ප්‍රති ආශ්‍රැත ජල පද්ධතියක් අද (10) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ආරාධනයෙන් ගරු ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතාගේ සුරතින් ජනතා අයිතියට පත් කෙරිණි. මෙම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍ය ගරු දුමින්ද දිසානායක මහතා, ත්‍රිවිධ හමුදාධිපතිවරුන්, උතුරුමැද නාවික විධාන ආඥාපති රියර් අද්මිරාල් දිමුතු ගුණවර්ධන මහතා, නාවික හමුදා මූලස්ථානයේ සහ උතුරුමැද නාවික විධානයට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා ප්‍රදේශවාසීන් විශාල පිරිසක් ද සහභාගී විය.

මෙම ප්‍රති ආශ්‍රැත ජල පද්ධතිය නාවික හමුදා සමාජ සත්කාරක ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ පර්යේෂණ හා සංවර්ධන අංශයේ ඉංජිනේරුවන් විසින් සැළසුම් කොට නිර්මාණය කර ඇත. වර්තමානයේ මෙවැනි යන්ත්‍රයක් රුපියල් මිලියන 5 කට ආසන්න වටිනාකමකින් යුක්ත වන අතර, නාවික හමුදාවට මෙම යන්ත්‍රය නිර්මාණය කිරීම සඳහා වැය වන්නේ රුපියල් මිලියනකට ආසන්න මුදලකි.  ප්‍රදේශවාසී ජනතාවට දීර්ඝ කාලීන අවශ්‍යතාවයක්ව පැවති මෙම යන්ත්‍රය වකුගඩු රෝගීන් වැඩි වශයෙන් වාර්තාවන එම ප්‍රදේශයේ ජනතාවට මහත් අස්වැසිල්ලක් වනු ඇති අතර, මෙම ප්‍රදේශයට අමතරව තවත් ගම්මාන 5 ක් සඳහා නාවික හමුදාව විසින් මෙම යන්ත්‍ර ලබා දී ඇත.