නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 24 දෙනෙකු නාවික හමුදාවේ අත්අඩංගුවට
 

නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 24 දෙනෙකු ස්ථාන දෙකකදී අත්අඩංගුවට ගැනීමට ඊයේ (10) නාවික හමුදාව සමත්විය. නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගෝඨාභය ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ආලම්පිල් මුහුදු ප්‍රදේශයේදී නීතිවිරෝධී ‍ලෙස ධීවර කටයුතු සිදුකල පුද්ගලයන් ‍2 නෙකු ඒ සඳහා යොදාගත් ඩිංගි යාත්‍රාවක් සමග අත්අඩංගුවට ගන්නා ලද අතර, එම පුද්ගලයන් සහ යාත්‍රාව ඉදිරි විමර්ෂණ කටයුතු සඳහා ත්‍රිකුණාමලය සහකාර ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

එදිනම වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් උඩප්පුව සහ සින්නපාඩු අතර මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයන් 22 නෙකු ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රා 5 ක්, හඹිලි දැල් 2 ක්, G.P.S යන්ත්‍ර 5 ක්, කිමිදීම සඳහා යොදාගන්නා පාවරල් යුගල 3 ක් සහ කිමිදුම්කරුවන් සඳහා වාතය ලබා ගන්නා උපකරණ 3 ක් සමග අත්අඩංගුවට ගන්නා ලදී. එම පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි විමර්ෂණ කටයුතු සඳහා පුත්තලම ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දෙන ලදී.