ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 28 දෙනෙකු අත්අඩංගුවට ගැනේ
 

තාවුල්පාඩු මුහුදු තීරයේදී සහ ඩෙල්ෆ් දූපතට ආසන්නයෙන් ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 28 දෙනෙකු නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඊයේ (12) අත්අඩංගුවට ගන්නා ලදී. ඉන්දීය ධීවරයින් විසිතුන්දෙනෙකු සමග කුඩා බෝට්ටු 3ක් තාවුල්පාඩු මුහුදු තීරයේදීත්, අනෙකුත් ධීවරයින් 5 දෙනා සමග ට්‍රෝලර් යාත්‍රාවක් ඩෙල්ෆ් දූපතට ආසන්න මුහුදු ප්‍රදේශයේදීත් අත්අඩංගුවට පත්විය.

අත්අඩංගුවට ගත් ධීවරයින් සහ යාත්‍රා ඉදිරි කටයුතු සඳහා මන්නාරම පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි. අනෙක් ධීවරයින් පිරිස සහ යාත්‍රාව යාපනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත භාරදීමට කටයුතු සිදු කරමින් පවතී.