තිසාවැව ජල පොම්පාගාරයේ අළුත්වැඩියා කළ පොම්ප නැවත සවි කිරීම සඳහා නාවික හමුදාවේ සහාය
 

අනුරාධපුර, පූජා නගරයේ ජල පිරිපහදුව වෙත තිසා වැවෙන් ජලය ලබා ගන්නා අතර, ඒ සඳහා පොම්ප 3 ක් ජලයේ ගිල්වා සවි කොට ඇත. එම ජල පොම්පවල ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් ඒවා අළුත්වැඩියා කිරීම සඳහා ගොඩ ගැනීමට සහාය වන ලෙස අනුරාධපුර ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ කළමණාකාර මහතා විසින් සිදු කළ ඉල්ලීමක් මත උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවික කිමිදුම්කරුවන් සහ නාවිකයන් පිරිසක් විසින් ගොඩ ගන්නා ලදී.

දින ගණනාවක් පුරා නිලධාරීන්ගේ සහ නාවිකයන්ගේ පූර්ණ දායකත්වය මත සිදු කරන ලද අළුත්වැඩියා නිමකොට අද (18) නැවතත් එම පොම්ප වැව පතුළේ ඇති පයිප්ප හා සම්බන්ධකර ජල සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට නාවික හමුදාව කටයුතු කරන ලදී. මෙහි එක් පොම්පයක් කිලෝග්‍රෑම් 200 ක පමණ බරකින් යුක්ත වන අතර, ඒවා මීටර් 20 ක් පමණ වැව තුළට වන්නට සහ මීටර් 03 ක් පමණ ගැඹුරින් සවි කළ යුතුව තිබිණි. මෙම කාර්යය සාර්ථක කර ගැනීම සඳහා නාවික හමුදාවේ කිමිදුම් කරුවන්ගේ නොමද සහයෝගය ලැබුනු අතර, ජල සැපයුම යථා තත්ත්වයට පත් කිරීම තුළින් ප්‍රදේශයේ ජනතාවට මෙන්ම බැතිමතුන්ට සිය ජල අවශ්‍යතාවයන් කඩිනමින් ඉටු කර ගැනීමට හැකිවීම සම්බන්ධයෙන් ඔවුහු නාවික හමුදාවට සිය හෘදයාංගම ස්තුතිය පුද කළහ.