නාවික හමුදා "කයක්" ඔරු පැදීමේ මුහුදු ගවේශක කණ්ඩායම ත්‍රිකුණාමලයට ළඟාවෙයි
 

2016 පෙබරවාරි මස 19 වන දින යාපනය, කරෙයිනගර් දූපතින් යාත්‍රා කිරීම ආරම්භ කළ නාවික හමුදා "කයක්" ඔරු පැදීමේ මුහුදු ගවේශණ කණ්ඩායම මාර්තු මස 26 වන දින දහවල් ත්‍රිකුණාමලය වරායට ළඟා විය. මෙම පිරිස ඉතා දුෂ්කර ගමනක යෙදෙමින් දිවයිනේ බටහිර, දකුණු හා නැගෙනහිර මුහුදු තීරය පසුකර කිලෝමීටර් 1010ක දුර ප්‍රමාණයක් යාත්‍රා කොට ඇත. විශේෂ යාත්‍රා බළඝණයේ හිටපු අණදෙන නිලධාරියකු මෙන්ම වත්මන් නාවික හමුදා අධ්‍යක්ෂ නාවික පුහුණු සහ රුවල් හා පැදි යාත්‍රා සංචිතයේ සභාපති, කපිතාන් (කිමිදුම්) ප්‍රියන්ත පෙරේරාගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම "කයක්" ඔරු පැදීමේ කණ්ඩායමට විශේෂ යාත්‍රා බළඝණයේ ලුතිනන් කොමාණ්ඩර් ඩීජීකේජීටී කුමාර හා සමූහ ප්‍රධාන සුළු නිලධාරී ඒඩබ්ලිව්ජීපී සම්පත් යන අයද ඇතුළත් විය. මෙම සංචාරය අතරතුර විශේෂ යාත්‍රා බළඝණ නාවිකයින් හට පුහුණුව ලබාදීම සඳහා තවත් "කයක්" යාත්‍රාවක් යොදාගත් අතර, එහිදී ඔවුන්ට අදියර කිහිපයක් යටතේ සහභාගී වෙමින් නැවුම් අත්දැකීමක් ලබාගැනීමේ අවස්ථාව ද උදා විය.

සාගරය ආශ්‍රිතව සිදුකරන කයක් ඔරු පැදීමේ ක්‍රීඩාව සඳහා ඉතා ඉහළ විඳඳරා ගැනීමක් තිබිය යුතු අතර, එය වෙහෙසකර කාර්යයක් වනවා මෙන්ම විනෝදය ගෙන දෙන්නකි. දුෂ්කර සාගරික මෙහෙයුම් වලට මුහුණ දීම සඳහා ඉතා හොඳ පුහුණුවක් ද මෙතුළින් ලබා ගත හැකි වේ. ශ්‍රී ලංකාව තුළ ඉතා අවම ව්‍යාප්තියත් පෙන්නුම් කළ ද බොහෝ වෙරළාශ්‍රිත රටවල් සාගරික "කයක්" ඔරු පැදීමේ ක්‍රීඩාව සංචාරක ප්‍රවර්ධනය හා විනෝද ක්‍රීඩාවක් ලෙස පුළුල් යටිතල පහසුකම් සපයමින් පවත්වාගෙන යයි. පැදි යාත්‍රා මගින් ලබන පුහුණුව අතීතයේදී ද විශේෂ සාගරික මෙහෙයුම් හා යුද ශක්‍යතාවයන් වැඩි කර ගැනීමට මනා සේ උපකාරී වී ඇති බවට සාක්ෂි දරයි.

පෙබරවාරි මස 19 වන දින යාපනය, කල්මුනායි තුඩුව (K Point) ප්‍රදේශයේ සිදු කළ උභය සංග්‍රාමික මෙහෙයුම් පාඨමාලාවේ පුහුණු අභ්‍යාසයන් හි නිමාවත් සමග ආරම්භ වූ මෙම "කයක්" සංචාරය අදියර 32ක් යටතේ ක්‍රියාත්මක විය. කිලෝමීටර් 1200කින් සමන්විත දිවයින වටා වූ දුර ප්‍රමාණය දින 40ක පමණ වූ කාලයක් තුළ නිම කිරීමේ හැකියාව තිබුනද, මුහුදුබත් වූ නෞකා ගවේශණය සහ දියයට ජායාරූප හා වීඩියෝගත කිරීම් වැනි අමතර ක්‍රියාකාරකම් වල නිරත වීම හේතුවෙන් සංචාරය සඳහා මෙම කණ්ඩායමට තවත් දින කිහිපයක් වැය කරන්නට සිදු විය.