නීති විරෝධී ධීවර කටයුතුවල යෙදී සිටි ලාංකික ධීවරයින් හත්දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (7) ඉරනතිව් ප්‍රදේශයට දකුණින් වූ මුහුදු ප්‍රදේශයේ දී නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙකු මුහුදු කූඩැල්ලන් 200 ක්, ඩිංගි යාත්‍රාවක් සහ පාවරල් යුගල් 4 ක් ද සමඟ අත්අඩංගුවට ගන්නා ලදී. අත්අඩංගුවට ගත් පුද්ගලයින්, යාත්‍රාව සහ මුහුදු කූඩැල්ලන් තොගය ඉදිරි කටයුතු සඳහා කිලි‍නොච්චිය සහකාර ධීවර අධ්‍යක්ෂක කාර්යාලය වෙත භාරදීමට කටයුතු කර ඇත.

එදිනම, කල්පිටිය ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් කල්මුනේ මුහුදු ප්‍රදේශයේ දී නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි පුද්ගලයන් තිදෙ‍නෙකු, ධීවර කටයුතු සඳහා යොදාගත් ඩිංගි යාත්‍රාවක් හා තංගුස් දැල් සමඟ අත්අඩංගුවට ගන්නා ලදී. එම පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි විමර්ශණ කටයුතු සඳහා පුත්තලම සහකාර ධීවර පරීක්ෂක වෙත භාර‍දෙන ලදී.