ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නාවික අභ්‍යාසයක් සඳහා ඉන්දුනීසියාව බලා පිටත්ව යයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු ප්‍රදේශ නීරීක්ෂණය කරන නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර, බහුපාර්ශ්වික කොමෝඩෝ (Komodo MNEK 2016) නාවික අභ්‍යාසයට සහ 2016 අන්තර්ජාතික නෞකා පිරික්සුමට සහභාගී වීම සඳහා අප්‍රේල් මස 5 වන දින කොළඹ වරායෙන් ඉන්දුනීසියාව බලා පිටත්ව යන ලදී. සමුදුර නෞකාව අප්‍රේල් මස 10 වන දින ඉන්දුනීසියාවේ පඩාන්ග් ප්‍රදේශයට සේන්දු වූ අතර, එහිදී එරට නාවික හමුදාව විසින් නෞකාව සම්ප්‍රදායානුකූලව පිළිගන්නා ලදී. මෙම සංචාරය සඳහා නිලධාරීන් සහ නාවිකයන් 186 දෙනෙකු සහභාගී විය.

මෙම බහුපාර්ශ්වික කොමෝඩෝ පුහුණු අභ්‍යාසය සහ 2016 අන්තර්ජාතික නෞකා පිරික්සුම අප්‍රේල් මස 12 වන දින සිට 16 වන දින දක්වා බටහිර සුමාත්‍රාවේ සහ මෙන්ටවායි දූපතේදී සිදු කිරීමට නියමිත අතර, එහිදී 15 වන බටහිර පැසිෆික් කළාපීය නාවික සම්මන්ත්‍රණය, නාවික වැඩමුළු, සාගරික ප්‍රදර්ශන, ප්‍රජා ඉංජිනේරු ක්‍රියාකාරී ව්‍යාපෘති සහ ප්‍රජා වෛද්‍ය ක්‍රියාකාරී ව්‍යාපෘති රටවල් 37 ක නාවික හමුදාවන් එක්ව සිදු කිරීමට නියමිතය.