ජපාන නාවික හමුදා නෞකා ද්විත්වයක් ශ්‍රී ලංකාවට පැමිණෙයි
 

ජපන් නාවික හමුදාවට අයත් “මකිනාමි (ඩීඩී - 112)” සහ “සුසුනාමි (ඩී - 114)” යන නෞකාවන් ද්විත්වය දෙරටේ නාවික හමුදාවන් අතර සුහදතාවය වර්ධනය කර ගැනීම සදහා අද (11) කොළඹ වරායට සේන්දු විය. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික චාරිත්‍ර හා සම්ප්‍රදායන්ට අනුව මෙම නෞකා පිළිගන්නා ලදී.

ජපන් නාවික හමුදාවේ තුන්වන ආරක්ෂක ඒකකයේ අණදෙන නිලධාරී වශයෙන් කටයුතු කරන කපිතාන් “ට‍කේෂි යොෂිඔකා”, නෞකා දෙකෙහි අණදෙන නිලධාරීන් වන කොමාණ්ඩර් “ෂියුජි ඔනෝ”, කොමාණ්ඩර් “මසනෝරි අමෙමියා” සහ ජපන් වෙරළාරක්ෂක බළකායේ අණදෙන නිලධාරී කොමාණ්ඩර් “මසහරු ෆුජිමොටෝ” යන නිලධාරීන් නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය. මෙම අවස්ථාවට ශ්‍රීලංකාවේ ජපන් තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක කපිතාන් “මොටොට්ෂුගු ශිගෙකාවා” මහතා ද එක්විය. මෙම හමුව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.

මෙම නෞකාවන් අප්‍රේල් 14 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිත අතර, දෙරටහි නාවික හමුදාවන් අතර වෘත්තීමය විශේෂඥ දැනුම වර්ධනය කර ගැනීම සඳහා  ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවක් සමග සාගරයන්හි සෝදිසි කිරීමේ සහ මුදවා ගැනීමේ අභ්‍යාසයක්ද  පැවැත්වීමට නියමිතය.