නාවික හමුදාව ලේ දන්දීමේ ක‍ඳවුරු දෙකක් පවත්වයි
 
 

ශ්‍රද්ධා රූපවාහිනී සහ ගුවන් විදුලි මාධ්‍ය ජාලයෙහි ගරු අනුශාසක, පූජ්‍ය අළුදෙණියේ සුබෝධි ස්වාමීන් වහන්සේගේ සංකල්පයකට අනුව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මෙහෙයවීමෙන් ලේ දන්දීමේ කදවුරු දෙකක් බටහිර නාවික විධානයේ දී සහ නැගෙනහිර නාවික විධානයේ දී පවත්වන ලදී.

“රුධිර දාන” වැඩසටහන් මාලාවේ දෙවන අධියර වශයෙන්, සිංහල හා හින්දු අළුත් අවුරුදු සමයෙහි ශ්‍රී ලංකාවේ ලේ බැංකු තුළ පවත්නා අධික රුධිර හිඟයට හා අවශ්‍යතාවයන්ට පිළියම් ලෙස නාවික හමුදාව සහ ලේ බැංකුව එක්ව මෙම ලේ දන්දීමේ කඳවුරු පවත්වන ලදී. ඒ අනුව, අප්‍රේල් මස 11 වන දින නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේදී ලේ දන්දීමේ කදවුරක් පවත්වන ලද අතර, එහිදී, නිලධාරීන් සහ නාවිකයන් විශාල ප්‍රමාණයක් එම මහඟු කර්තව්‍ය සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් විය.

එමෙන්ම, නැගෙනහිර විධාන නාවික රෝහල විසින් අනුරාධපුර ශික්ෂණ රෝහල හා පොලොන්නරුව මහ රෝහලේ ලේ බැංකුව සමඟ එක්ව ලේ දන්දීමේ කඳවුරක් අප්‍රේල් මස 8 වන දින ත්‍රිකුණාමළය නාවික හා සාගරික විද්‍යාපීඨයේ දී පවත්වන ලදී. එය නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතාගේ සම්බන්ධීකරණය මත ක්‍රියාත්මක කර ඇති අතර, ඒ සඳහා නාවික පුද්ගලයින් 256 දෙනෙකු ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වි ඇත.

බටහිර නාවික විධානය

නැගෙනහිර නාවික විධානය