නාවික හමුදාධිපතිතුමා “සුසුනාමි” ජපන් නෞකාවේ සංචාරයක නිරත වෙයි
 
 

ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද (12) දින ජපන් සාගරික ආරක්ෂක බළඝණයේ නෞකාවක් වන “සුසුනාමි” නෞකාවේ සංචාරයක නිරත විය. එහිදි “සුසුනාමි” නෞකාවේ අණදෙන නිලධාරීතුමන් විසින් නාවික හමුදාධිපතිතුමන්ව ඉතා උණුසුම් අයුරින් පිළිගත් අතර එතුමන් හට සම්මාන ආචාර මුරයකින් ගෞරවය පුද කරන ලදී. අනතුරුව නාවික හමුදාධිපතිතුමන් නෞකාවේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර එහිදී අදාල නෞකාවේ කාර්යය සහ භූමිකාව පිළිබඳව එතුමන්ව දැනුවත් කරන ලදී.

එමෙන්ම මෙහිදී පවත් වන ලද සුහද පිළිසදරේ දී තුන්වන ආරක්ෂක ඒකකයේ අණදෙන නිලධාරී වශයෙන් කටයුතු කරන කපිතාන් ටකාශි යොශිඕකා මහතා විසින් මෙම‍ නෞකාව සෝමාලියානු මුහුදේ සිදු කරනු ලබන කටයුතු පිළිබඳවත් මුහුදු කොල්ලකරුවන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳවත් මෑතකාලීන ප්‍රවනතා සම්බන්ධව වෙළඳ නෞකාවන්ට ආරක්ෂාව සැපයීමේ කාර්යය පිළිබඳවත් නාවික හමුදාධිපතිතුමන්ව දැනුවත් කරන ලදී. මේ අතර නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කටයුතු කරන කොමාණ්ඩර් මසනෝරි අමෙමියා මහතා විසින් නෞකාවේ රාජකාරීන් පිළිබඳව සංශිප්ත විස්තරයක් සහ එම නෞකාව ජපාන වෙරළ ආරක්ෂක බළකාය සමඟ පවත්වන අනෝන්‍ය ක්‍රියාකාරකම් පිළිබඳවත් විස්තර කරන ලදී.

මෙම අවස්ථාව සඳහා නාවික හමුදා මාණ්ඩළික ප්‍රධානී රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ, අධ්‍යක්ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් ධර්මේන්ද්‍ර වෑත්තෑව, ආඥාපති බටහිර නාවික පෙදෙස, රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා, ආධ්‍යක්ෂ නාවික මෙහෙයුම් කොමදෝරු කලන ජිනදාස, ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක කපිතාන් මොටොට්ෂුගු ශිගෙකාවා ද එක් විය.

ජපාන නෞකාවන් ද්විත්වයක් වන “සුසුනාමි” සහ “මකිනාමි” යන නෞකා යුගලය සෝමාලියානු මුහුදු කලාපයේ සිය රාජකාරි කටයුතු වලින් බැහැරව ජපානය වෙත ගමන්කරමින් සිටින අතර, ජපාන සාගරික ආරක්ෂණ බළඝණය මඟින් අනෙක් රටවල සහයෝගය ඇතිව යුධ නැව් භාවිතා කර එම කාලාපයේ ආරක්ෂාව තරකොට ඇත. දැනට 58 වාරයක් ජපාන සාගරික ආරක්ෂණ බලකායේ නෞකා කොළඹ වරාය වෙත පැමිණ ඇත. එමෙන්ම ඔවුන් ජාත්‍යන්තර සහායද ඇතිව මුහුදු කොල්ලකෑම් මැඩලීම් කටයුතු දියත් කර ඇත.

මේ අතර ශ්‍රී ලංකා නාවික හමුදාව ජපාන සාගරික ආරක්ෂණ බළඝණය සමඟ ද්වීපාර්ශවීය නිරතුරුවම පවත්වන ලද ඒකාබද්ධ මෙහෙයුම් මඟින් දෙපාර්ශවය අතර සහායෝගිතාව වර්ධනය කරගෙන ඇති අතර, ශ්‍රී ලංකා නාවික හමුදාවේත්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේත්, ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක බළකායෙත් සහභාගිත්වය ඇතිව 2016 මැයි මස 10 වන දින සෝදිසි කිරීමේ හා මුදා ගැනීමේ මෙහෙයුමක්ද සිදු කිරීමට කටයුතු යොදා ඇත.