ශ්‍රී ලංකා නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් ගුවාම් හි පුහුණු සැසියක් සඳහා සහභාගී වෙයි
 
 

ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ පුපුරණ ද්‍රව්‍ය හා යුධෝපකරණ බැහැර කිරීමේ ජංගම ඒකකයේ (5 වන) නාවිකයන් පිරිසක් සමග ශ්‍රී ලංකා නාවික හමුදාවේ 20 දෙනෙකුගෙන් සමන්විත කිමිදුම් කණ්ඩායමක්, කිමිදුම් පුහුණු අභ්‍යාසයක් සඳහා මේ වන විට සහභාගී වෙමින් සිටී.

ඇමරිකා එක්සත් ජනපද කිමිදුම් කණ්ඩායමක් සමග ශ්‍රී ලංකා නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායම සිදු කරනු ලබන මෙම පුහුණු සැසියේ ප්‍රධානතම අරමුණ වනුයේ ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල පිහිටා ඇති වැව් සහ කළපු අශ්‍රිතව එල්ටීටීඊ සංවිධානය විසින් අතහැර දමා යන ලද මෙතෙක් පිපිරීමට ලක් නොවී පවතින බෝම්බ සහ අනෙකුත් යුද උපකරණ ඉවත් කිරීමට අවශ්‍ය විශේෂ පුහුණුව මෙතුලින් අත් කර ගැනීමයි.

දෙරටෙහි හමුදාවන් අතර විශේෂ යුද ශිල්ප ප්‍රාගුණ්‍ය හුවමාරු කර ගැනීමේ අදහසින් ක්‍රියාත්මක වන මෙම පුහුණු සැසිය 2016 අප්‍රේල් මස 07 වන දින ආරම්භ විය. දින 10 ක් පුරා ක්‍රියාත්මක වන මෙම පුහුණු වැඩසටහන මගින් කිමිදුම් ක්‍රියාන්විතයන්ට අදාල න්‍යායාත්මක සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් රැසක් ආවරණය කිරීමට නියමිතය. එමෙන්ම, මෙමගින් දෙරට අතර මිත්‍රත්වය වර්ධනය කර ගැනීමටත් ශ්‍රී ලංකා නාවික හමුදාවේ කිමිදුම් හැකියාවන් තවදුරටත් ඔප්නංවා ගැනීමටත් අවස්ථාව සැලසී ඇත.

2016 අප්‍රේල් 13 වන දින සිදු කරන ලද ඒකාබද්ධ කිමිදුම් අභ්‍යාසයේදී දෙවන ලෝක යුද සමයේ පැසිෆික් සාගරයේදී මුහුදුබත් වූ ටොකායි මාරු නම් ජපාන යුද නෞකාව අශ්‍රිතව සිය කිමිදුම් කටයුතු කිරීමට ශ්‍රී ලාංකික සහ එක්සත් ජනපද කිමිදුම් කණ්ඩායම් සමත් විය. එම කටයුතු 75 වන කාර්යය සාධක බලකායේ අණදෙන නිලධාරීතුමන්ගේ සෘජු අධීක්ෂණය යටතේ සිදු කරන ලදී. ඇමරිකා එක්සත් ජනපදයේ 7 වන නෞකා විධානයේ මෙහෙයුම් වපසරියට අයත් වන වෙරළාරක්ෂක මෙහෙ‍යුම් කටයුතු සැළසුම් කිරීම මෙන්ම ඒවා ක්‍රියාත්මක කිරීම, පුපුරණ ද්‍රව්‍ය ඉවත් කිරීම, කිමිදුම් ඉංජිනේරු විද්‍යාව සහ දිය යට සිදු කරනු ලබන විවිධ ගොඩනැගීම් ක්‍රියාත්මක කිරීම 75 වන කාර්යය සාධක බලකායේ ප්‍රධානතම කාර්යයන් අතර වේ.

ඡායාරූප සඳහා අනුග්‍රහය : https://www.dvidshub.net වෙබ් අඩවිය