ඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු නාවික බලඝණය කොළඹ වරායට පැමිණේ
 
 

ඉන්දියානු නාවික හමුදාවට අයත් ටිර්, සුජාතා යන යුද නෞකාවන්ගෙන් සහ වෙරළාරක්ෂක බළකායේ වරුණ යන නෞකාවෙන් සමන්විත ඉන්දීය පළමු පුහුණු නාවික බලඝණය අද (15) උදෑසන පුහුණු සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු විය. එහිදී, ශ්‍රී ලංකා නාවික හමුදව විසින් සිය සම්ප්‍රාදායානුකූලව උත්සවාකාරයෙන් එම නෞකා ත්‍රිත්වය පිළිගන්නා ලදී. තවද, නෞකාවන්ගේ අණදෙන නිලධාරීන් වන කපිතාන් සීආර් අයියාර් මහතා, කොමාණ්ඩර් එස් මුතුක්‍රිෂ්ණන් මහතා සහ වෙරළාරක්ෂක නෞකා වරුණ හි ආඥාපති, බී රන්ජන් මහතා බටහිර නාවික විධාන මූලස්ථානයේදී, බටහිර නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු සෙනරත් විජේසූරිය මහතා හමුවිය. එහිදී ඔවුන් ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු රාශියක් සම්බන්ධයෙන් සුහද කථාබහක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.

තවද, ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන් සහ නාවිකයන් එක්ව ඉන්දීය නාවික නෞකා ටිර්, සුජාතා සහ වෙරළාරක්ෂක නෞකා වරුණහිදී පුළුල් පරාසයක් ආවරණය වන පදිරි පුහුණු වැඩසටහන් රාශියක් මෙම සංචාරය තුලදී සිදු කිරීමට කටයුතු සූදානම් කර ඇත. මෙහිදී පළමු පුහුණු නාවික බළඝනයට අයත් ඉන්දියානු නාවික හමුදාවේ සහ වෙරළාරක්ෂක බළකායේ පුහුණු වන නිලධාරීන් හට මුහුදු පුහුණුව ලබා දීම මූලක අරමුණ වේ. කෙසේ වෙතත්, ශ්‍රී ලංකා නාවික හමුදාව දශක 4 කට වඩා වැඩි කාල සීමාවක සිට මේ දක්වා විදේශීය මිත්‍ර නාවික හමුදාවන් සමග පුහුණු අභ්‍යාසයන් සිදු කර ඇති අතර, ඉන්දීය නෞකාවන් ත්‍රිත්වය දෙරට අතර ඒකාබද්ධ නාවික අභ්‍යාසයන්හි නිරතවීමෙන් අනතුරුව අප්‍රේල් මස 19 වන දින දිවයිනෙන් පිටත්වීමට නියමිතව ඇත.