නීති විරෝධී ධීවර කටයුතුවල යෙදී සිටි ලාංකික ධීවරයින් තිස්දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අයත් කන්කසන්තුරය, ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයට අනුයුක්ත පී 465 සහ පී 437 වේග ප්‍රහාරක යාත්‍රා මගින් ඊයේ (23) චුන්ඩිකුලම් සහ වෙත්තලකේනි අතර මුහුදු ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයන් 30 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත්විය. එහිදී ඩිංගි යාත්‍රා 10 ක්, මුහුදු කූඩැල්ලන් 2264 ක ප්‍රමාණයක්, ඔක්සිජන් සිලින්ඩර් 102 ක්, කිමිදීම සඳහා යොදාගනු ලබන මුහුණු ආවරණ 25 ක්, කිමිදීම සඳහා යොදාගනු ලබන පා වරල් යුගල් 22 ක් සහ G.P.S යන්ත්‍ර 10 ක් ද අත්අඩංගුවට පත් විය. එම පුද්ගලයින් සහ භාණ්ඩ ඉදිරි කටයුතු සඳහා යාපනය ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.

එදිනම, නැගෙනහිර නාවික විධානයට අයත් මඩකළපුව, කොටුවමැද නාවික අනුඛණ්ඩයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පෙරියපොඩ්ඩායි මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරතව සිටි පුද්ගලයන් 2 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී. එම පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි විමර්ෂණ කටයුතු සඳහා මඩකළපුව පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.