ශ්‍රී ලංකා නාවික හමුදා කිමිදුම්කරුවන් දියේ ගිලුනු පුද්ගලයෙකු සොයා ගැනීමට සහාය වෙයි
 

ලුතිනන් කොමාණ්ඩර් (කිමිදුම්) රසික දිසානායක මහතාගේ මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක වූ නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් විසින් අද (24) යාපනය නිලාවරෙයි ප්‍රදේශයේ පිහිටි ඉතා ගැඹුරු ලිදක් තුලට වැටී මිය ගිය පුද්ගලයෙකුගේ මල සිරුරක් සොයා ගැනීමට සමත්විය.

පතුල නොමැති ලිද වශයෙන් ප්‍රසිද්ධියට පත්ව ඇති එම ලිද ප්‍රදේශයේ පිහිටා ඇති සුවිශේෂී ජල මූලාශ්‍රයක් වශයෙන් සැළකේ. මෙහි ඇති සුවිශේෂී බව නිසාම වසර පුරා සංචාරකයන්ගේ නොමද ආකර්ශණයට ද ලක් වී ඇත. මෙම මල සිරුර සොයා ගැනීමේදී ශ්‍රී ලංකා නාවික හමුදා කිමිදුම්කරුවන් විසින් මූලිකවම ලිං පතුල නිරීක්ෂණය කිරීමේ කටයුතු සිදු කළ අතර, ඒ සඳහා දුරස්ථපාලකයක් මගින් පාලනය කළ හැකි දිය යට නිරීක්ෂණ කැමරාවකින් සමන්විත අධි තාක්ෂණික යානයක් භාවිතා කරන ලදී.

මීටර් 52 ක් (අඩි 170 ක්) පමණ ගැඹුරකින් යුක්ත වූ, එමෙන්ම පතුලට ගමන් කිරීමේදී ක්‍රමයෙන් පටු බවක් පෙන්නුම් කළ මෙම ලිදෙහි පතුලට වන්නට එම යානය ගමන් කරවීමේදී මීටර් 40 ක් (අඩි 131ක්) පමණ ගැඹුරේදී සුන්බුන් අතර සිරවී තිබූ මල සිරුර නිරීක්ෂණය කිරීමට නාවික හමුදා කිමිදුම් කණ්ඩායම සමත් විය. ඉන් අනතුරුව කිමිදුම්කරුවන් දෙදෙනෙකු යොදවා සිරුර ගොඩ ගැනීමට ඔවුන් කටයුතු කරන ලදී.

ශ්‍රී ලංකා නාවික හමුදා කිමිදුම්කරුවන් විසින් මෙවැනි ගැඹුරු ලිදක් ආශ්‍රිතව සිදු කරන ලද ප්‍රථම මානුෂිය ක්‍රියාකාරකම වශයෙන් මෙය හැදින්විය හැකිය.