මියගිය ඕස්ට්‍රේලියානු සහ නවසීලන්ත හමුදා සාමාජිකයින් සිහිකිරීමේ ගුණ සමරු උත්සවය සඳහා නාවික හමුදාධිපතිතුමන් සහභාගී වෙයි

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්, අතිගරු බ්‍රයිස් හචසන් මහතාගේ ආරාධනයකට අනුව, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද (25) අළුයම 0530 ට බොරැල්ල කනත්තේ ස්ථාපිත කර ඇති ඕස්ට්‍රේලියානු සහ නවසීලන්ත සොල්දාදුවන් අනුස්මරණය කිරීමේ ස්මාරකය අභියස පැවැති ගුණ සමරු උත්සවයට සහභාගී විය.

ඇන්සැක් දින (ANZAC Day) සැමරුම වශයෙන් නම් කර ඇති මෙම ගුණසමරු උත්සවය 1915 වර්ෂයේ “ගැලිපෝලි” සටනින් මියගිය ඕස්ට්‍රේලියානු සහ නවසීලන්ත සොල්දාදුවන් අනුස්මරණය කිරීම පිණිස පවත්වනු ලබයි. චාරිත්‍රානුකූලව සෑම වසරකම අප්‍රේල් මස 25 වන දින මෙම උත්සවය පවත්වනු ලැබේ.

හිටපු නාවික හමුදාධිපති සහ ඕස්ට්‍රේලියාවේ හිටපු ශ්‍රී ලංකා මහකොමසාරිස්, අද්මිරාල් (විශ්‍රාමික) තිසර සමරසිංහ මහතා, ගුවන් හමුදාධිපති එයාර් මාෂල් ගගන් බුලත්සිංහල මහතා, යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානී, මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් මහතා ඇතුළු ‍ඕස්ට්‍රේලියානු තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහ ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද එම අවස්ථාව සඳහා සහභාගී විය.