නීතිවිරෝධී ධීවර කටයුතු සඳහා යොදාගන්නා පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3ක් අත්අඩංගුවට ගැනේ
 

ත්‍රිකුණාමලය, උල්ලක්කේලි කලපු ප්‍රදේශයේ සඟවා තිබූ "ගන් පවුඩර්" වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2.6ක් ශ්‍රී ලංකා නාවික නෞකා ලංකාපටුන ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (01) උදෑසන සොයා ගැනීමට සමත් විය. මෙම පුපුරණ ද්‍රව්‍ය නීතීවිරෝධී ධීවර කටයුතු සඳහා හෝ දඩයම් කටයුතු සඳහා යොදාගැනීමේ අරමුණින් සඟවා තබන්නට ඇතැයි නාවික හමුදාව සැක පහළ කරයි.

එදිනම දහවල් ශ්‍රී ලංකා නාවික නෞකා රන්වැලි ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් පුල්මුඩේ, පොල්මල්කුඩා ප්‍රදේශයේ පොල් ගසක් යට සඟවා තිබූ ඩෙටනේටර් 4ක්, ජෙලග්නයිට් කූරු 2ක් සහ අඟල් 2 ½ බැගින් වූ සේවා නූල් කැබලි 4ක් සොයා ගැනීමට සමත් විය.

තවද, අප්‍රේල් මස 30 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනයට අනුයුක්ත නාවිකයින් හා කුච්චවේලි පොලිස් ස්ථානයේ නිලධාරීන් එක්ව ත්‍රිකුණාමළය, එරක්කන්ඩි කලපු ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමක දී කුඩා වන ලැහැබක සඟවා තිබූ ටීඑන්ටී පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් 294ක්, බ්ලැක් පවුඩර් වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් 30ක්, ඩෙටනේටර් 9ක්, අඩි 13ක දිගින් යුත් සේවා නූලක් සහ නීතිවිරෝධී ධීවර දැල් 2ක් (තංගුස් දැල්) අත්අඩංගුවට ගන්නා ලදී. තවද එදිනම එරක්කඩ්ඩි ප්‍රදේශයේ දී සැකකටයුතු පුද්ගලයෙකු සමගින් ධීවර කටයුතු සඳහා යොදා ගන්නා තංගුස් දැලක් අත්අඩංගුවට ගැනුණු අතර, අදාල විෂයයන් ද සමග එම පුද්ගලයා ඉදිරි නීතිමය කටයුතු සඳහා කුච්චවේලි පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.