තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර බෙදාදීමේ පස්වන අදියර අතිගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ
 

තැලසීමියා රෝගීන් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර 275ක් නොමිළේ බෙදාදීම අද (02) කොළඹ, ජනාධිපති නිල නිවසේ දී අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. පස්වන අදියර යටතේ සිදුකෙරුණු මෙම නික්ෂේපණ යන්ත්‍ර බෙදාදීමේ අවස්ථාවට, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා, රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂක, වෛද්‍ය රත්නසිරි ඒ. හේවගේ මහතා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා, නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල් සෞඛ්‍ය සේවා, රියර් අද්මිරාල් ලලිත් ඒකනායක මහතා ඇතුළු පිරිසක් ද සහභාගී විය.

තැලසීමියා රෝගී තත්ත්වය හේතුවෙන් රුධිරයේ අඩංගු යකඩ ශරීරය තුළ එක්රැස් වන අතර, නැවත නැවත රුධිරය ලබාගැනීමේදී ද මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය වේ. එබැවින් ශරීරය තුළ එකතු වන යකඩ ඉවත් කිරීම සඳහා මෙම තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර රෝගීන් හට අත්‍යාවශ්‍ය වේ. රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමේ දී එම ඖෂධය නියමිත මාත්‍රාව පැය 8-10ක කාලයක් පුරා ඉතා නිවැරදි ලෙස ලබාදිය යුතු අතර, දිගින් දිගටම එය රෝහල් වලදී සිදුකිරීම ප්‍රායෝගිකව අපහසු කර්තව්‍යයකි. එම ගැටළු අවම කර ගැනීම සඳහා හඳුන්වා දී ඇති මෙම නික්ෂේපණ යන්ත්‍රයක් නාවික හමුදාව විසින් පළමු වරට නිෂ්පාදනය කරනු ලැබුවේ 2010 වසරේ දීයි. ඒ වන විට වෙළඳපළේ තිබූ නික්ෂේපණ යන්ත්‍රයක් රුපියල් 80,000-150,000 අතර මිලකින් යුක්ත වූ අතර, ඒවායෙහි බැටරි ආයු කාලය ද ඉතා අවම විය. එමෙන්ම යාවත්කාලීන කිරීමේ පහසුවද නොතිබුනු බැවින් එය අක්‍රීය වීමකදී නව යන්ත්‍රයක් මිලදී ගත යුතු විය. ‍

එම සියළු අඩුපාඩුකම් මගහරවමින් ඉතා හොඳ තත්ත්වයෙන් යුත් නික්ෂේපණ යන්ත්‍රයක් රුපියල් 5,500ක පමණ ඉතා අඩු මුදලකින් නිෂ්පාදනය කරන්නට නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකයට හැකි විය. ස්වකීය සම්පත් හා දැනුම උපයෝගී කරගනිමින් මේ වන විට එය තවදුරටත් සංවර්ධනය කර ඉතා උසස් මට්ටමෙන් නිපදවීමට නාවික හමුදාව සමත්ව සිටී. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශය ද ලබා ඇති මෙම නික්ෂේපණ යන්ත්‍රය සඳහා 2012 වසරේ දී ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය වෙතින් ශ්‍රී ලංකාවේ මධ්‍යම ප්‍රමාණයේ හොඳම නිෂ්පාදකයාට හිමි ජාතික සම්මානයෙන් පවා පිදුම් ලැබීමට හැකියාව ලැබුණි.

නාවික හමුදාධිපතිතුමන්ගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර නිෂ්පාදන කටයුතු මගින් මේ වන විට ‍රජයේ රෝහල්, ළමා රෝහල් හා රෝගීන් සඳහා අදියර 5ක් යටතේ යන්ත්‍ර 1200ක් නොමිළේ බෙදාදීමට සමත්ව ඇත. රටෙහි සමස්ථ අවශ්‍යතාවය වෙනුවෙන් මෙම යන්ත්‍ර ඉදිරියේදීත් නිපදවීමට නාවික හමුදාව කටයුතු කරමින් සිටියි.