නීති විරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ලාංකික ධීවරයින් 14 දෙනෙකු අත්අඩංගුවට
 

මන්නාරම, වෙඩිතලතිව් හා මඩ්ඩලම්පිඩ්ඩි මුහුදු ප්‍රදේශයේ දී නීති විරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ධීවරයින් පස් දෙනෙකු සමග කුඩා ඔරු (වල්ලම්) 5ක් අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් ඊයේ (03) උදෑසන සමත් විය. එහිදී යකඩ බට (GI Pipes) 160ක් ද ‍අත්අඩංගුවට ගැනුණු අතර, ඉදිරි කටයුතු සඳහා ධීවරයින් හා එම බට තොගය මන්නාරම සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත භාරදීමට කටයුතු කෙරිණි. එදිනම දහවල් ශ්‍රීලංනානෞ "ථේරපුත්ත" නාවික කඳවුරට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් මන්නාරම, කොණ්ඩච්චිකුඩා මුහුදු ප්‍රදේශයේ දී තවත් ධීවරයින් සිව් දෙනෙකු සමග ඩිංගි යාත්‍රාවක් අත්අඩංගුවට ගත් අතර, මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 1.5ක්, ජීපීඑස් යන්ත්‍රයක්, කිමිදුම් පාවරල් යුගල් 4ක් හා කිමිදුම් මුහුණු ආවරණ 5ක්ද එහිදී අත්අඩංගුවට පත් විය. එම ධීවරයින් පිරිස හා අදාළ උපකරණ ඉදිරි නීතිමය කටයුතු සඳහා සිලාවතුර පොලිස් ස්ථානය වෙත භාර දෙන ලදී.

මේ අතර, මඩකලපුව සිට්ටිවිලුගම් ප්‍රදේශයේ දී නිවසක සඟවා තිබූ හක්බෙල්ලන් 1008ක් සමග සැක කටයුතු පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා නාවික නෞකා කාශ්‍යප ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසකට හැකි විය. ඒ සඳහා මඩකලපුව ධීවර පරීක්ෂක නිලධාරීන් ‍ගේ සහාය ද ලැබිණි. තවද, මැයි මස 2 වන දින කිලිනොච්චිය, යක්තුඩුවට උතුරින් වූ මුහුදු ප්‍රදේශයේ දී ධීවරයින් සිව් දෙනෙකු සමග ඩිංගි යාත්‍රා 2ක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් විය. එහිදී ජීපීඑස් යන්ත්‍ර 2ක්, ධීවර දැල් 3ක් හා කකුළුවන් කිලෝග්‍රෑම් 11ක් ද අත්අඩංගුවට ගැනුණු අතර, ඉදිරි විමර්ශණ කටයුතු සඳහා එම විෂයයන් හා පුද්ගලයින් පිරිස කිලිනොච්චිය සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත භාර දෙන ලදී.