කන්කසන්තුරය, ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ අළුත්වැඩියා කටයුතු වලට නාවික හමුදාව සහාය වෙයි

කන්කසන්තුරය, ශාන්ත අන්තෝනී මුනිඳුන්ගේ දේවස්ථානයේ අළුත්වැඩියා කටයුතු පසුගියදා සිදු කෙරුණු අතර, ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ දායකත්වය ද සපයන ලදී. ඒ අතර, එම අළුත්වැඩියා කටයුතු වෙනුවෙන් වැයවූ මුදලින් කොටසක් නාවික හමුදා බෞද්ධ සංගමය මගින් ලබාදීම ද විශේෂත්වයකි. උතුරු නාවික විධානයට අනුයුක්ත නිලධාරීන් සහ නාවිකයින් ද දේවස්ථානයේ අළුත්වැඩියා කටයුතු සඳහා දායක විය. නාවික හමුදා බෞද්ධ සංගමය මගින් ඒ සඳහා මූල්‍යාධාර ලබාදීම ක්‍රිස්තියාණි හා කතෝලික බැතිමතුන්ගේ නොමද ඇගයීමට ලක්වූ අතර, මෙම ක්‍රියාවලිය සැබෑ ආගමික සහජීවනය හා සමාජයට මනා පණිවිඩයක් ලබාදෙන ප්‍රශංසනීය කරුණක් ලෙස පෙන්වා දිය හැක.

අළුත්වැඩියා කටයුතු නිමවීමෙන් අනතුරුව දේවස්ථානයේ මංගල්‍යය පසුගිය ඉරු දින (මැයි 1) ගරු සුනිල් කුමාර් පීරිස් පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එම මංගල්‍යය සඳහා උතුරු නාවික විධානයට අනුයුක්ත නිලධාරීන්, නාවිකයින් මෙන්ම ප්‍රදේශයේ ක‍තෝලික බැතිමතුන් ද සහභාගී විය.