ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙරට නාවික හමුදාව මගින් නිෂ්පාදනය කරන ලද යාත්‍රා 9ක් නයිජීරියාවට අලෙවි කෙරේ

වැලිසර නාවික කඳවුරේ පිහිටුවා ඇති වෙරළ මුර යාත්‍රා තැනීමේ ව්‍යාපෘති වැඩපලෙහි (Inshore Patrol Craft Construction Project) නිෂ්පාදනය කරන ලද යාත්‍රා නවයක් (9) නයිජීරියානු රජය වෙත අලෙවි කිරීම අද (6) එම පරිශ්‍රයේ දී සිදු කෙරිණි. විදේශ රටකට මෙලෙස යාත්‍රා අලෙවි කළ ප්‍රථම පියවර ලෙස මෙම සුවිශේෂී අවස්ථාව මෙරට නාවික ඉතිහාසයට එක් වනු ඇත. නයිජීරියානු රජය නියෝජනය කරමින් එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ නයිජීරියානු මහකොමසාරිස් අතිගරු එස්.යූ. අහමඩ් මහතා සහභාගී වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් අධ්‍යක්ෂ ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් ධර්මේන්ද්‍ර වෑත්තෑව හා අධ්‍යක්ෂ ජෙනරාල් ඉංජිනේරු, රියර් අද්මිරාල් නිලන්ත ප්‍රේමසිරි මහතා සහභාගී විය. මේ යටතේ කුඩා ‍යාත්‍රා (Arrow Boat) හයක් (6) සහ වෙරළාරක්ෂක යාත්‍රා (Inshore Patrol Craft) 3ක් අලෙවි කෙරුණු අතර, ඉන් ලද ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 4.2ක් පමණ වේ.

එකල පැවති අවශ්‍යතාවයට සරිලන පරිදි ශ්‍රී ලංකා නාවික හමුදාව විසින්ම 1994 වසරේ දී විශේෂ යාත්‍රා බලඝණය සඳහා කුඩා යාත්‍රා නිෂ්පාදනය ආරම්භ කරන ලද අතර, මේ වන විට කුඩා යාත්‍රා 120ක් පමණ නිෂ්පාදනය කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාවට හැකි වී ඇත. පසුගිය මානුෂීය මෙහෙයුම සඳහා මෙම යාත්‍රා බොහෝ සෙයින් උපයෝගී කරගත් අතර, එමගින් ශ්‍රී ලංකා නාවික හමුදාව ලද ජයග්‍රහණයන් අතිමහත් වේ. එමෙන්ම එම කුඩා යාත්‍රා භාවිතයෙන් ලද ජයග්‍රහණ පිළිබඳව ලොව පුරා ප්‍රචලිත වීමත් සමගම ලෝකයේ බොහෝ රටවල් ශ්‍රී ලංකා නාවික හමුදාව හා ඔවුන්ගේ දස්කම් පිළිබඳව අවධානය යොමු කළහ. එම නිසා විවිධ රටවලින් කරන ලද ඉල්ලීම් වලට අනුව, කුඩා යාත්‍රා භාවිතයෙන් සිදු කරනු ලබන නාවික මෙහෙයුම් පිළිබඳව විදෙස් රටවල හමුදා සාමාජිකයින් හට පුහුණුව ලබා දෙන්නට ද ශ්‍රී ලංකා නාවික හමුදාවට අවස්ථාව සැලසුණි. මෙම පසුබිම මත ශ්‍රී ලංකා නාවික හමුදාව නිපදවනු ලැබූ කුඩා යාත්‍රා සඳහා ජාත්‍යන්තර ඉල්ලුමක් ඇතිවූ අතර, එහි ප්‍රථිඵලයක් ලෙස මෙම යාත්‍රා අපනයනයට මඟ පෑදුණු බව සඳහන් කළ හැකිය. මෙම යාත්‍රා වෙනත් රටකට අලෙවි කිරීම සඳහා මෙයට පෙර අවස්ථා කිහිපයක දීම උත්සාහ දැරූ නමුදු එම ප්‍රයත්නයන් අසාර්ථක විය. නමුදු මෑත කාලීනව දැරූ ප්‍රයත්නයක් මල්ඵල ගන්වමින් එය සාර්ථක කර ගැනීමට හැකිවීම ශ්‍රී ලංකා නාවික හමුදාව ලද විශිෂ්ඨ ජයග්‍රහණයකි.

මෙම ඇරෝ යාත්‍රා හා වෙරළාරක්ෂක යාත්‍රා අලෙවි කිරීමෙන් ලද ඩොලර් මිලියන 4.2ක් (රුපියල් කෝටි 60ක් පමණ) වූ ආදායම, තවදුරටත් වැලිසර වෙරළ මුර යාත්‍රා තැනීමේ ව්‍යාපෘති වැඩපලෙහි සංවර්ධන කටයුතු සඳහා යෙදවීමට බලාපොරොත්තු වන අතර, එමගින් නව පර්යේෂණ හා තාක්ෂණික දැනුම උපයෝගී කරගනිමින් උසස් නිෂ්පාදන බිහිකිරීමට අපේක්ෂා කෙරේ. වැලිසර පිහිටි යාත්‍රා නිෂ්පාදන වැඩපලෙහි නිපදවනු ලබන යාත්‍රා අන්තර්ජාතික ප්‍රමිතිකරණයක් සහිතව නිෂ්පාදනය කරනු ලබන අතර, එය මුළුමනින්ම ශ්‍රී ලංකා නාවික හමුදා තාක්ෂණය භාවිතයෙන් හා නාවික ඉංජිනේරුවන්ගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කෙරේ. ඉතිහාසයේ ප්‍රථම වතාවට සිදුකරන ලද මෙම නාවික යාත්‍රා අපනයනය මගින් ශ්‍රී ලංකාවට විදේශීය විනිමය ඉපයීමට හැකිවනවා පමණක් නොව ජාත්‍යන්තරව අවධානය හා කීර්තිය දිනාගැනීමට ද එය මහත් පිටිවහලක් වනු ඇත.