නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 5 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

වයඹ නාවික විධානයට අයත් සිලාවතුර, ශ්‍රී ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (10) මුල්ලිකුලම් සහ කල්ලාරු අතර මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් (තංගුස්) භාවිතා කරමින් නීතිවිරෝධී ‍ලෙස ධීවර කටයුතු වල නිරතව සිටි පුද්ගලයන් දෙදෙනෙකු හා එ් සඳහා යොදාගත් ඩිංගි යාත්‍රාවක් සමග අත්අඩංගුවට ගන්නා ලදී. එම පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි විමර්ෂණ කටයුතු සඳහා සිලාවතුර පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

තවද, එදිනම දකුණු නාවික විධානයට අයත් ගාල්ල, ශ්‍රී ලංකා නාවික නෞකා දක්ෂිණ ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අකුරළ මුහුදු ප්‍රදේශයේදී පුපුරණ ද්‍රව්‍ය භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී. එහිදී, ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රාවක්, කිමිදීම සඳහා යොදා ගන්නා පා වරල් යුගලක්, ඩෙටනේටර් 3 ක් සහ සේවා නූල් කැබලි 2 ක් ද අත්අඩංගුවට පත්විය. එම පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි විමර්ෂණ කටයුතු සඳහා ගාල්ල ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී.