ගංවතුරෙන් අවතැන් වූ ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා සහ ඉන්දීය නාවික හමුදා ඒකාබද්ධව සෞඛ්‍ය කදවුරු පවත්වයි

පසුගිය 20 වන දින සිට අද (22) දින දක්වා ගංවතුරෙන් අවතැන් වූ ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ වෛද්‍යවරුන් සහ වෛද්‍ය සහයක නාවිකයන් විසින් විසින් බියගම, වැල්ලම්පිටිය, මල්වාන, මාපිටිගම, ඔරුගොඩවත්ත, කඩුවෙල සහ අවිස්සාවේල්ල යන ප්‍රදේශයන්හිදී සෞඛ්‍ය කදවුරු රාශියක් පවත්වන ලදී. එමෙන්ම ගංවතුරෙන් පීඩාවට පත් ශ්‍රී ලාංකික ජනතාවට සහන සැළසීම සඳහා පසුගිය 21 වන දින දිවයිනට සේන්දු වූ ඉන්දීය නාවික නෞකාවන් දෙකෙහි වෛද්‍යවරුන් සහ වෛද්‍ය සහයක නාවිකයන් ද ඊයේ (21) සහ අද මල්වාන ප්‍රදේශයේ පැවැත්වූ සෞඛ්‍ය කදවුරු සඳහා සිය දායකත්වය ලබා දෙන ලදී.

එහිදී, පුද්ගලයන් 2,700 කට අධික ප්‍රමාණකට වෛද්‍ය පහසුකම් ලබා දීමට ඔවුන් සමත් වී ඇත. මෙම සත්කාර්යය සඳහා ශ්‍රී ලංකා සහ ඉන්දීය නාවික හමුදාවන්ගේ වෛද්‍යවරුන් 18 ක ආසන්න පිරිසක් සහ වෛද්‍ය සහයක නාවිකයන් 70 කට අධික පිරිසක් සහභාගී විය. නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල් සෞඛ්‍ය හා සේවා‍, වෛද්‍ය රියර් අද්මිරාල් ලලිත් ඒකනායක මහතාගේ මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක වූ මෙම සෞඛ්‍ය කදවුරු සඳහා අධ්‍යක්ෂ නාවික වෛද්‍ය හා සේවා වෛද්‍ය කොමදෝරු සේනරූප ජයවර්ධන මහතා, වෛද්‍ය ‍කොමදෝරු එසජිත් ජයසිංහ මහතා ද සහභාගී විය.

පවතින අයහපත් කාලගුණික තත්වයන් මධ්‍යයේ වුවද දින ගණනාවක් පුරා වෛද්‍ය කදවුරු පවත්වමින් අවතැන් වූ ජනතාවගේ සෞඛ්‍ය තත්වය පරීක්ෂා කර බලා ඔවුන්ට අවශ්‍ය වෛද්‍ය පහසුකම් සහ ප්‍රථිකාර නොමිලේ ලබා දීම සම්බන්ධයෙන් එම ජනතාව විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවට සහ ඉන්දියානු නාවික හමුදාවට සිය හෘදයාංගම ස්තුතිය පුද කිරීමටද එහිදී කටයුතු කරන ලදී.