නාවික හමුදාධිපතිතුමා ඉන්දියානු නෞකාවන් දෙකෙහි සංචාරයක නිරතවෙයි
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද (23), පසුගිය 21 වන දින මෙරටට පැමිණි ඉන්දිය නාවික නෞකා සට්ලේජ් සහ සුනයිනා හි චාරිකාවක නිරත විය. එහිදී නෞකා‍වන්හි අණදෙන නිලධාරීන් වන කොමාණ්ඩර් බී. මුරලිදර් ඩොන්ග්‍රි මහතා සහ කොමාණ්ඩර් අසාද් ෆර්හට් මහතා විසින් නාවික හමුදාධිපතිතුමා ඇතුළු පිරිස ඉතා උණුසුම් ලෙස පිළිගන්නා ලදී.

ගංවතුරින් සහ නාය යෑම් වලින් විපතට පත් ශ්‍රී ලාංකික ජනතා‍වට සහන සැලසීම සඳහා එම නෞකාවන් මෙසේ දිවයිනට සේන්දූ වූ අතර, පසුගිය දින කීපය පුරාවටම එම ජනතාව වෙනුවෙන් ආහාර ද්‍රව්‍ය සහ වෛද්‍ය පහසුකම් ලබා දීම සඳහා ඔවුන් සහාය විය. දෙරටේ රාජ තාන්ත්‍රික මෙන්ම නාවික හමුදාවන් අතර පවතින මිත්‍රත්වය ශක්තිමත් කරමින් ජල ගැලීම් වලින් සහ නාය යෑම් වලින් අසරණ තත්ත්වයට පත් ජනතාව වෙනුවෙන් ඔවුන් විසින් සිදු කරන ලද සේවාව එහිදී නාවික හමුදාධිපතිතුමා විසින් කෘතවේදීව සිහිපත් කළ අතර, ඒ සම්බන්ධයෙන් සිය හෘදයාංගම ස්තුතිය ද පුද කෙරිණි. එම සත්කාර්යයන් සඳහා දායකත්වය ලබා දුන් ඉන්දීය වෛද්‍යවරුන්ට සහ වෛද්‍ය සහයක නාවිකයන්හට ඔවුන්ගේ සේවය ඇගයීම වෙනුවෙන් ත්‍යාග සහ ප්‍රසංසාත්මක ලිපි ප්‍රධානය කිරීමක්ද සිදු කරන ලදී. එමෙන්ම මෙම අවස්ථාවන් සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිලිණ හුවමාරුවක් ද සිදු කෙරුනු අතර, සට්ලේජ් සහ සුනයිනා නෞකාවන් අද (23) උදෑසන කොළඹ වරායෙන් නැවත ඉන්දියාව බලා පිටත්විය.

නාවික හමුදා අධ්‍යක්ෂ ‍ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් ධර්මේන්ද්‍ර වෑත්තෑව මහතා, බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතා ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කපිතාන් ප්‍රකාශ් ගෝපාලන් මහතා සහ ඉන්දීය නෞකාවන් දෙකෙහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද එම අවස්ථාව සඳහා සහභාගී වී සිටියහ.

ඉන්දිය නාවික නෞකා සුනයිනා

ඉන්දිය නාවික නෞකා සට්ලේජ්