ජපන් - ශ්‍රී ලංකා සමුද්‍රීය සහයෝගීතාවය: ජපාන, යෙන් බිලියන 1.8 ක අයෝජනයක් තුලින් සමුද්‍රීය ආරක්ෂක හැකියාව වර්ධනය කිරීමට අපේක්ෂා කෙරේ

පසුගිය දින ජපානයේ නගෝයා හිදී අවසන් වූ ද්විපාර්ශ්වික සමුළුවේදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතිතුමා සහ ජපාන අග්‍රාමාත්‍ය අතිගරු ශින්ෂෝ අබේ මැතිතුමා විසින් සිදු කරන ලද සාකච්ඡා අතරතුරදී නීතිමය පාලනයකට නතුව නාවික කටයුතු පවත්වාගෙන යාම සහ ඈත මුහුදේ උපද්‍රවයකින් තොරව නාවික කටයුතු පවත්වාගෙන යාමේ වැදගත්කම පිළිබදව අවධාරණය කෙරිණි.

මෙම ද්විපාර්ශ්වික හමුව අවසානයේදී ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් දෙරටෙහි නායකයන්, ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින සමුද්‍රීය සහයෝගීතාවය ශක්තිමත් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන සමුද්‍රිය ආරක්ෂක හැකියාව වර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ස්ථාවරව ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාවය එහිදී පෙන්වා දෙන ලදී. තවද, ජපාන, යෙන් බිලියන් 1.8 ක වටිනාකමකින් යුත් එම ව්‍යාපෘතියට වෙරළාරක්ෂක මුර යාත්‍රා 2 ක් ලබා දීමට ද නියමිත බවත්, ජපාන රජය මේ වන විටත් ඉන්දුනීසියානු, පිලිපීන සහ වියට්නාම් යනාදී රටවල වෙරළාරක්ෂක බළකායන් වෙත මුර යාත්‍රා ලබා දීමට කටයුතු කර ඇති බවත්‍ පෙන්වා දෙන ලදී.

මෙසේ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බළකාය වෙත ද නුදුරු කාලයේදී වෙරළාරක්ෂක මුර යාත්‍රා ද්විත්වයක් ලබා දීමට කටයුතු සම්පානය කිරීම, සන්නිවේදනය මගින් මුහුදු මාර්ග ආරක්ෂා කිරීමෙහිලා දෙරට අතර පවතින කැපවීම විදහා දැක්වීමට කදිම නිදසුනකි. ගැඹුරු මුහුදේදී උපද්‍රවයකින් තොරව නෞකා සහ යාත්‍රාවන්ට ගමන් කිරීමටත්, මනා ලෙස සම්පාදනය කරන ලද ජාත්‍යන්තර නීතිරීති පද්ධතියක් තුලින් සමුද්‍රිය ක්‍රියාකාරකම් නියාමනය කිරීමේ හැකියාව තවදුරටත් වැඩිදියුණු කර ගැනීම ද මෙහි අරමුණු අතර වේ.

ජපන් රජය දෙරට අතර පවතින සමුද්‍රීය සහයෝගීතාවය වැඩිදියුණු කිරීම සහ ශක්තිමක් කිරීමේ අරමුණින් යුතුව වසර ගණනාවක් පුරා මෙරටට උපකාර කර ඇත. එයට කදිම උදාරණයක් වශයෙන් ජපාන නාවික හමුදාවට සහ වෙරළාරක්ෂක බළකායට අයත් නෞකා දිවයිනට සේන්දු වීම පෙන්වා දිය හැක. ඒ අනුව 2009 වර්ෂයේ සිට මේ දක්වා එම නාවික නෞකාවන් අවස්ථා 55 කදී ශ්‍රී ලංකාවේ සංචාරය කර ඇත.

මෙම නෞකා සංචාරයන්ට අමතරව ජපාන රජය විසින් සිය වෙරළාරක්ෂක බළකායේ අනුග්‍රහයෙන්, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බළකායේ නාවිකයන්ගේ වෘත්තමය හැකියාව දියුණු කිරීමේ අරමුණින් යුතුව, තෙල් කාන්දු කළමනාකරණය කිරීමේ වැඩසටහන්, සමුද්‍රීය ආපදා නිවාරණ වැඩසටහන්, නීතිය බලගැන්වීමේ ක්‍රියාකාරකම්, සමුද්‍රීය විමර්ෂණ සහ මුදවාගැනීමේ යනාදී ක්‍රියාකාරකම් බොහොමයක් පැවැත්වීමට ද කටයුතු කර ඇත.

එහි ප්‍රථිපලයක් වශයෙන් මෙම වර්ෂයේ ජනවාරි මස දික්ඕවිට ධීවර වරාය ආශ්‍රිතව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බළකාය විසින් තෙල් කාන්දුවකදී ක්‍රියාකළ යුතු ආකාරය විදහා දක්වන මෙහෙයුමක් ඉතා සාර්ථක ලෙස සිදු කරන ලදී. එම මෙහෙයුමේ සාර්ථකත්වය උදෙසා ජපාන වෙරළාරක්ෂක බළකාය විසින් ස්ථාපිත කර ඇති විශේෂ කණ්ඩායමේ ප්‍රවීණයන්ගෙන් ලද උසස් පුහුණුව මනා පිටුවහලක් විය. තවද, එම මෙහෙයුම සාර්ථක කර ගැනීම සඳහා J.I.C.A. සමාගමෙන් ද මනා සහයෝගයක් ලැබිණි.

මෙසේ වසර ගණනාවක් මුළුල්ලේ ජපාන රජය විසින් ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බළකාය වෙත නිරන්තරයෙන් සහාය දැක්වීමේ ප්‍රථිපලයක් ලෙස ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බළකා පුද්ගලයන්ගේ වෘත්තීමය හැකියාවන් උසස් මට්ටමකට ගෙන ඒමට හැකියාව ලැබී ඇත. එමෙන්ම දෙරටේ වෙරළාරක්ෂක බළකායන් අතර පවතින සමීප සම්බන්ධතාවය දෙස ශ්‍රී ලාංකිකයන් වශයෙන් අවධානය යොමු කිරීමේදී නාවික පුද්ගලයින්ගේ වෘත්තීය නිපුණත්වය වර්ධනය කිරීමට එය සෘජු දායකත්වයක් වී ඇති බව ද මනාව පිළිඹිබු වේ.

තවද, දෙරටේ රාජ්‍ය නායකයන් විසින් ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින සමුද්‍රීය සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව දිගින් දිගටම සාකච්ඡා කර ඇති අතර, එමගින් ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්ෂක බළකාය සහ ජපාන නාවික හමුදාව, එරට වෙරළාරක්ෂක බළකාය සමග ඉදිරියටත් සමීපව කටයුතු කරමින් දෙරටෙහි නාවික ක්ෂේත්‍රයන්ට අදාල අපේක්ෂාවන් මුදුන්පත් කර ගැනීමට බලාපොරොත්තු වේ.