ශ්‍රී ලංකා නාවික හමුදාව, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සමග අවබෝධතා ගිවිසුම් දෙකකට එළබෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව එක්ව චන්ද්‍රිකා තාක්ෂණය මත පදනම් වූ යාත්‍රා නිරීක්ෂණ පද්ධතියක් ආශ්‍රයෙන් දත්ත ලබා ගැනීම (Vessel Monitoring System - VMS) පිළිබදව අවබෝධතා ගිවිසුම සහ ජාතික ජල මානක හා නාවික සිතියම්ගත කිරීමේ අබබෝධතා ගිවිසුම ඊයේ (21) ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශයේදී අත්සන් කරන ලදී. ඒ අනුව ආරක්ෂක ලේකම්, ඉංජිනේරු, කරුණාසේන හෙට්ටිආරච්චි මහතා සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශයේ ලේකම්, මංගලිකා අධිකාරී මහත්මිය අතර පළමු ගිවිසුමද, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සහ ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන ආයතනයේ (NARA) සභාපති, ආචාර්ය අනිල් ප්‍රේමරත්න මහතා අතර දෙවන ගිවිසුම ද අත්සන් කෙරිණි.

ජල මානක විද්‍යාව සහ නාවික සිතියම්ගත කිරීම සම්බන්ධයෙන් අත්සන් තැබුනු අවබෝධතා ගිවිසුම් මගින් නාවික ජල මානක විද්‍යා නිලධාරීන් හට ජාතික වශයෙන් වැදගත් ජල මානක මෙහෙයුම් සහ නාවික සිතියම් ගත කිරීමේ කටයුතු සඳහා නව මංපෙත් විවර කිරීමට අවස්ථාව සළසා දී ඇත. ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන ආයතනය (NARA) සමග ඇතිකර ගත් මෙම නව සහයෝගීතාවය හේතුවෙන් මින් ඉදිරියට ජාතික ජල මානක කාර්යාලීය කටයුතු මෙහෙයවීමේ සම දායකත්වය නාවික හමුදාවට හිමි වනු ඇත. එමෙන්ම, ඉහත කර්තව්‍යයන් ක්‍රියාත්මක කිරීමේදී ජාතික ව්‍යුහයක් අනුව කටයුතු කිරීමේ අවස්ථාව ද මින් ඉදිරියට ලැබෙනු ඇත. මෙම නව එකමුතුවෙහි තවත් ප්‍රථිපලයක් වශයෙන් ඉදිරි වසර 2-3 ක කාලය තුල ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නාවික සිතියම් ගත කිරීමේ සමීක්ෂණ කටයුතු සාර්ථක කර ගැනීමටත් ජාතික සහ වෘත්තීමය වශයෙන් ප්‍රයෝජනවත් වන විද්‍යුත් නාවික සිතියම් සම්පාදනය කිරීම සඳහා ප්‍රමුඛත්වය ලබා දීමටත් හැකියාව ලැබෙනු ඇත. තවද, මෙමගින් සාගරික ජීවය ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය (SOLAS) ප්‍රකාරව නාවික පරීක්ෂණ කටයුතු වලදී නාවිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වන විධිවිධානයන් ද තව දුරටත් බලපැවැත්වෙනු ඇත.

නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල් පුද්ගල සහ ප්‍රධාන ජලමානක නිලධාරී, රියර් අද්මිරාල් සිසිර ජයකොඩි මහතා, අධ්‍යක්ෂ නාවික මෙහෙයුම්, ‍කොමදෝරු කලන ජිනදාස මහතා, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් සහ ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ නිලධාරීන් පිරිසක් ද එම අවස්ථාව සඳහා සහභාගී විය.