ආරක්ෂක සේවා තරඟාවලියේ ජයග්‍රහන රැසක් අත්කර ගැනීමට නාවික හමුදාව සමත්වෙයි
 

2016 නව වන ආරක්ෂක සේවා තරඟාවලියේ ජයග්‍රහන රැසක් අත්කර ගැනීමට නාවික හමුදාව මේ වන විට සමත් වී ඇත. ඒ අනුව ජුනි මස 11 වන දින සිට 18 වන දින දක්වා වැලිසර නාවික හමුදා වෙඩි පිටියේ පැවති පැති අවි වෙඩි තැබීමේ තරඟාවලියේ ශූරතාවය දිනා ගැනීමට නාවික හමුදා කණ්ඩායම සමත් විය.

සුළු නිලධාරී (කාන්තා) ඩබ්ජීඑස් ප්‍රියදර්ශනී, ගුවන්විදුලි කාර්මික කේපීජීඩී ධනුෂ්ක යන අය කාන්තා සහ පිරිමි අංශයන්ගෙන් හොදම වෙඩික්කරුට‍ හිමි කුසලානයන් හිමි කර ගන්නා ලදී. එම කණ්ඩායමට හිමි සහතිකපත් සහ කුසලාන ප්‍රදානය කිරීම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ මේජර් ජෙනරාල් රවී රත්නසිංහම් මහතා විසින් සිදු කෙරිණි. නාවික හමුදාධිපති සහ ජාතික රයිෆල් සංගමයේ හිටපු සභාපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීමත් හිටපු ජාතික ශූර වෙඩික්කාරියක් වන ඉනෝකා වීරසිංහ මහත්මියගේ මනා පුහුණුවත් එම ජයග්‍රහනයන් අත්කර ගැනීම උදෙසා මහත් පිටිවහලක් විය.

තවද, ජුනි මස 20 වන දින සිට 22 වන දින දක්වා වැලිසර නාවික හමුදා ක්‍රීඩා සංකීර්ණයේ පැවති වූෂූ තරඟාවලියෙන් යුද හමුදාව සහ ගුවන් හමුදාව පරාජයට පත් කරමින් රන් පදක්කම් 21 ක් රිදී පදක්කම් 23 ක් සහ ලෝකඩ පදක්කම් 16 ක් ද සමගින් නාවික හමුදාව එහි සමස්ථ ශූරතාවය දිනා ගන්නා ලදී. එහි ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ මේජර් ජෙනරාල් කේආර්පී රොවෙල් මහතා සහභාගී වූ අතර, එතුමන් අතින් නාවික හමුදා පිරිමි සහ කාන්තා කණ්ඩායම් ජයග්‍රාහී කුසලාන හිමිකර ගන්නා ලදී.

පැති අවි වෙඩි තැබීමේ තරඟාවලිය.

වූෂු තරඟාවලිය.