නාවික හමුදා ගිලන් යාත්‍රාව සියවැනි ගමන් වාරය සම්පූර්ණ කරයි
 

උතුරේ දූපත්වල වෙසෙන සිවිල් වැසියන්ට සේවය සැලසීමේ අරමුණින් ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් හා මගපෙන්වීම මත නාවික හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද ගිලන් යාත්‍රාව පසුගිය 24 වන දින තම සිය වන ගමන් වාරය සම්පූර්ණ කරන ලදී.

මෙම ගිලන් යාත්‍රාව කඩිනම් ප්‍රතිකාර අවශ්‍යතා ඇති උතුරු ප්‍රදේශයේ දූපත් වල වෙසෙන ජනතාවට ඉතා ඉක්මනින් ප්‍රධාන රෝහල් කරා ගමන් කිරීමට මෙම ගිලන් යාත්‍රාව උපකාරී වී ඇති අතර, අඩි 47.5ක දිගකින් සමන්විත එය මේ වන විට සිය ගමන් වාරයන් තුළදී රෝගී පුද්ගලයන් 124 දෙනෙකු කඩිනම් ප්‍රථිකාර සඳහා රෝහල් කරා ප්‍රවාහනය කිරීමට දායක වී ඇත. වැලිසර, නාවික හමුදා වෙරළබඩ මුර යාත්‍රා නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතිය මගින් දේශීය තාක්ෂණය සහ ශ්‍රම දායකත්වයෙන් නිෂ්පාදනය කර ඇති මෙම යාත්‍රාව මගින් එකවර රෝගීන් 15 දෙනෙකු හට ප්‍රවාහන පහසුකම් සළසා දිය හැකිය.

ගිලන් ඇඳන් තුනකින්, ඔක්සිජන් සිලින්ඩර් දෙකකින්, එන්නත් නික්ෂේපන ආධාරකවලින් මෙන්ම රුධිර පීඩනය මැනීමේ උපකරණ සහ රෝගී තත්ව නිරීක්ෂණය කිරීමේ උපකරණ පද්ධතියක්ද මෙම යාත්‍රාව සතුය. මෙය නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් මිලියන 37ක පිරිවැයක් නාවික හමුදාව විසින් දරා ඇත. එමෙන්ම රළු මුහුදු තත්වයන් යටතේ ගමන් කිරීමේදී වුවද රෝගීන් හට ඇතිවිය හැකි අපහසුතා ඉතා අවම වන පරිදි මෙම යාත්‍රාව විශේෂිතව නිෂ්පාදනය කර ඇත.