නව ශිෂ්‍යභට නිලධාරීන් 34 දෙනෙකුහට පත්වීමේ ලිපි ප්‍රදානය කිරීම නාවික හමුදාධිපතිතුමා අතින් සිදු කෙරේ
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 58 වන බදවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරීන් 34 දෙනෙකුහට පත්වීමේ ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය අද (1) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථාන අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

ඒ අනුව, විධායක, සැපයුම්, විදුලි හා විද්‍යුත්, ඉංජිනේරු, නාවික ඉංජිනේරු සහ විනයාරක්ෂක යන අංශයන් සඳහා ශිෂ්‍යභට නිලධාරීන් මෙසේ නාවික හමුදා සේවයට එක් විය. එහිදී අදහස් දැක්වූ නාවික හමුදාධිපතිතුමා ප්‍රථමයෙන් නව ශිෂ්‍යභට නිලධාරීන්හට සිය සුභාසිංශන එක් කළ අතර, නාවික හමුදා නිලධාරීයෙකු වශයෙන් ඉදිරියේදී තම මාතෘභූමියට ඉටුවිය යුතු යුතුකම් මැනවින් සිදු කිරීමටත් නාවික හමුදාවේ කීර්තිනාමය මෙන්ම අනන්‍යතාවය ආරක්ෂා වන අයුරින් ගෞරවාන්විත සේවයක් ඉටු කිරීමටත් අදිටන් කරගත යුතු බව ප්‍රකාශ කරන ලදී. එමෙන්ම විනයගරුක නාවික නිලධාරියෙකු වශයෙන් තමන්ට පැවරෙන රාජකාරීන් මැනවින් ඉටු කරමින් අනාගතයේ නාවික හමුදාධිපතිවරයෙකු වශයෙන් පත්වීම දක්වා ඔවුන්ගේ නාවික ජීවිතය ඉදිරියට ගෙනයාමට උපදෙස් රැසක් ද නාවික හමුදාධිපතිතුමා විසින් එහිදී ඔවුන් හට ලබා දෙන ලදී. තවද, තම මාතෘභූමියට සේවය කිරීම සඳහා සිය දරුවන් නාවික හමුදාවට භාර දීම සම්බන්ධයෙන් සමස්ථ නාවික හමුදාව වෙනුවෙන් සිය හෘදයාංගම ස්තුතිය පුද කිරීමට ද එහිදී එතුමා කටයුතු කරන ලදී.

නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල් පුද්ගල, රියර් අද්මිරාල් සිසිර ජයකොඩි මහතා, අධ්‍යක්ෂ නාවික පුහුණු, කොමදෝරු ප්‍රියන්ත පෙරේරා මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් පිරිසක් මෙන්ම ශිෂ්‍යභට නිලධාරීන්ගේ දෙමාපියන් ඇතුළු ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් රැසක් එම අවස්ථාව සඳහා සහභාගී විය.