නාවික පවුල්වල දරුවන් වෙත නාවික සුභසාධක ඒකකය මගින් පරිත්‍යාග
 

නාවික හමුදා සමාජීය මෙහෙවර අරමුදල මගින් නායක නැවි (කිමිදුම්) එච්ආර්සී කුමාර ගේ දරුවා වෙනුවෙන් ත්‍රී ‍රෝද රථයක් ප්‍රදානය කිරීම සහ නායක ඉංජිනේරු කාර්මික ඒඒජේඒබී බස්නායක යන නාවිකයාගේ දියණියගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම සඳහා මුදල් පරිත්‍යාග කිරීම අද (4) අධ්‍යක්ෂ ජෙනරාල් සේවා, රියර් අද්මිරාල් එරික් ජයකොඩි මහතා අතින් නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

ගාල්ල, ශ්‍රී ලංකා නාවික නෞකා දක්ෂිණ ආයතනයට අනුයුක්තව සේවයේ නියුතු නායක නැවි කුමාරගේ පුතණුවන් අස්ථි දුර්වල වීමේ රෝගයට ගොදුරු වී ඇති අතර, එම දරු‍වාහට වෛද්‍ය ප්‍රථිකාර ලබා ගැනීමේ පහසුව සඳහා ත්‍රී රෝද රථයක් පරිත්‍යාග කිරීම එහිදී සිදු කෙරිණි. තවද, කන්කසන්තුරේ ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයට අනුයුක්තව රාජකාරී නියුතු නායක ඉංජිනේරු කාර්මික බස්නායක යන නාවිකයාගේ දියණිය මේ වන විට පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ කළමණාකරන පීඨයේ දෙවන වසරේ ඉගනුම ලබන අතර, ඇයගේ ඉදිරි උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් රු. 150,000 ක වටිනාකමකින් යුත් ප්‍රේශණ පතක් ප්‍රදානය කිරීම ද සිදු විය. මෙම අවස්ථාවට අධ්‍යක්ෂ නාවික සුභසාධක කොමදෝරු රොහාන් ගුණවර්ධන මහතා සහ ලුතිනන් අජන්ත සෙනවිරත්න මහතා ද සහභාගී විය.