ශාන්තිකර කළාපයේ භූජල තරණ නායකයන්ගේ සමුළුව සදහා නාවික හමුදාධිපති සහභාගි වේ
 

ඇමරිකානු මැරීන් බලකායේ අණදෙන නිලධාරී සහ ඇමරිකානු ශාන්තිකර මැරීන් දියත් බලකායේ ආඥාපති වන ලුතිනන් ජෙනරාල් ජෝන් ඒ ටූලන් මහතාගේ ආරාධනයකට අනුව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සහ නාවික ලේකම් කොමදෝරු උදය හෙට්ටිආරච්ච් මහතා, 2016 ජුලි මස 11 වන දින සිට 14 වන දින දක්වා ඇමරිකාවේ දකුණු කැලි‍ෆෝනියාවේදී පැවැත්වෙන 2016 ශාන්තිකර කළාපයේ භූජල තරණ නායකයන්ගේ සමුළුව සඳහා සහභාගි වේ.

අන්‍යෝන්‍ය අවබෝධතාවය ඉහළ නැංවිම, සහයෝගිතාවය වර්ධනය සහ පාර්ශවයන් අතර අන්තර් ක්‍රියාකාරී හැකියාවන් වර්ධනය කර ගැනීම මෙවර සමුළුවේ ප්‍රධාන අරමුණ විය. ‍මෙවර සමුළුව මගින් මිත්‍ර රට වල ජෙඨෂ්ඨ නිලධාරීන් හට භූජල තරණ මෙහෙයුම්, අවදානම් අවස්ථාවලදී ප්‍රතිචාර දැක්වීම්, සමුද්‍රීය පාදක ගොඩබිම් මෙහෙයුම් ක්‍රියාකාරකම් හා ශක්‍යතා වර්ධනය කරගැනීම වැනි කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ අවස්ථාවද උදාවිය. අධ්‍යයන සාකච්ඡා, අවස්ථා පාදක ක්‍රියාකාරකම්, සමුද්‍රීය පාදක ගොඩබිම් මෙහෙයුම්, භූජල තරණ නිදර්ශනයන් පිළිබඳ කණ්ඩායම් සාකච්ඡා පැවැත් වීම වැනි ක්‍රියාකාරකම් ද මෙවර සමුළුවට ඇතුළත් විය. දින 4 ක් පුරා පැවති මෙවර සමුළුව තුළින් කලාපයේ ජ්‍යෙෂ්ඨ නායකයින්ට ඔවුන්ගේ අදහස් හුවමාරු කරගැනීමේ අවස්ථාවත්, භූජල තරණ මෙහෙයුම් හැකියාවන් පිළිබඳ මනා අවබෝධයක් ලබා ගැනීමටත්, සිය හමුදාවන් වෙනුවෙන් අවශ්‍ය අභිමතාර්ථයන් සකස් කර ගැනීමටත් හා ඒවා ළඟා කර ගැනීමට මෙය මනා පිටිවහලක් විය.

ඉන්දු ආසියා පැසිෆික් කලාපය තුළ ක්‍රියාත්මක වන මෙවැනි සමුළු සහ අනෙකුත් පුහුණු අභ්‍යාසයන් තුළින් කලාපයේ මිත්‍ර හමුදාවන් අතර ඉහළ පුහුණුවක් හා අන්‍යෝන්‍ය ක්‍රියාකාරිත්වයන් ඇති කර ගැනීමට හැකියාව ලැබේ. එමෙන්ම ඒ තුළින් කලාපයේ ආරක්ෂාව සහ ආර්ථික සහයෝගීතාවය ශක්තිමත් කර ගැනීමට ද මඟපෑදී ඇත. මෙවර සමුළුව සදහා ලොව නන්දෙසින් පැමිණි නාවික සහ සමුද්‍රීය බලකා 20 කට අධික ප්‍රමාණයක නාවික හා යුධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගි වේ.