අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණ රචනා තරඟාවලියේ ජයග්‍රාහකයන්ට ත්‍යාග ප්‍රදානය කෙරේ
 

නාවික පර්යේෂණ ඒකකය විසින් සංවිධානය කරන ලද, 2015 වර්ෂය සඳහා වූ අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණ රචනා තරඟාවලියේ ජයග්‍රාහකයන් වෙත මුදල් ත්‍යාග සහ සහතිකපත් බෙදාදීම අද (3) උදෑසන නාවික හමුදා මූලස්ථානයේදී සිදු කරන ලදී. මෙම ත්‍යාග ප්‍රදානෝත්සවය, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ආරාධනයෙන්, හිටපු නාවික හමුදාධිපතිවරයෙකු මෙන්ම මෙරට හමුදා ඉතිහාසයේ තම මව්බිම වෙනුවෙන් දිවිපිදූ ජ්‍යෙෂ්ඨතම හමුදාධිපතිවරයා ලෙස සනිටුහන් වන අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු මහතාගේ බිරිද වන, මොනිකා ප්‍රනාන්දු මත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

රචනා තරඟාවලියේ ත්‍යාගලාභීන් සඳහා මුදල් ත්‍යාග හා සහතික පත් ප්‍රදානය එතුමිය අතින් සිදු කරන ලද අතර, මෙම අවස්ථාවට නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා, අධ්‍යක්ෂ ජෙනරාල්වරුන්, නාවික පර්යේෂණ අංශයේ ප්‍රධානී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගී විය. එහිදී අංශ 3 ක් යටතේ මෙම තරඟාවලිය පැවැත්වූ අතර, ඒ ඒ අංශ යටතේ මතු සඳහන් නිලධාරීන් සහ නාවිකයන් ජයග්‍රහණ හිමි කර ගන්නා ලදී.

කොමාණ්ඩර් නිලයෙන් ඉහළ නිලධාරීන් සඳහා වූ අංශය
ප්‍රථම ස්ථානය - කොමාණ්ඩර් (ඒඑස්ඩබ්) කේපීඑස්පී කොඩිප්පිලි
දෙවන ස්ථානය - කපිතාන් (ඉංජිනේරු) එච්කේ දසනායක
තෙවන ස්ථානය - කොමාණ්ඩර් (අවි) ඒඒසී කරුණාසේන

ලුතිනන් කොමාණ්ඩර් හා ඉන් පහළ නිලධාරීන් සඳහා වූ අංශය
ප්‍රථම ස්ථානය - ලුතිනන් කොමාණ්ඩර් කේකේසී උදයංග
දෙවන ස්ථානය - උප ලුතිනන් (නීති සේවා) ඩීඑන් අමරවංශ
තෙවන ස්ථානය - ලුතිනන් කොමාණ්ඩර් (අවි) එස්ඒසීආර් කුලතුංග

නාවිකයන් සඳහා වූ තරඟාවලිය
ප්‍රථම ස්ථානය - ප්‍රධාන සුළු නිලධාරී (ලිපිකරු) පීකේයූ තිස්ස
දෙවන ස්ථානය - සමූහ ප්‍රධාන සුළු නිලධාරී (නාවික සෙබළ) ජීජීඒ බණ්ඩා
තෙවන ස්ථානය - බල නැවි එම්ඒඑස්ඩී කුමාර

නාවික පුද්ගලයන්ගේ කියවීමේ, ලිවීමේ හා පර්යේෂණ ආශ්‍රිත දැනුම වර්ධනය කිරීමේ අරමුණින් මෙම රචනා තරඟාවලිය ආරම්භ ‍කෙරුණු අතර, එය 2015 වර්ෂයේ සිට අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු රචනා තරඟාවලිය ලෙස නම් කිරීමට වත්මන් නාවික හමුදාධිපතිතුමන් විසින් තීරණය කරනු ලැබුවේ, එතුමන්හට කෙරෙන ගෞරවයක් වශයෙනි.