226 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයන් 289 දෙනෙකු විසිර යති
 

ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ 226 වන බඳවා ගැනීමට අයත් නාවිකයන් 289 දෙනෙකු සිය මුලික පුහුණුව සාර්ථකව හදාරා අද (6) විසිර යන ලදී. බූස්ස, ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ දී ඉතා උත්කර්ෂවත් අයුරින් පවත්වන ලද එම විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ, අධ්‍යක්ෂ ජෙනරාල් නාවික හා ගුවන් මෙහෙයුම්, රියර් අද්මිරාල් සරත් මොහොට්ටි මහතා සහභාගී විය. ගරුතර මහා සංඝරත්නය ඇතුළු අන්‍යා‍ගමික පූජකවරුන්, දකුණු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිමල් සරත්සේන මහතා, දකුණු නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති සහ ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ ආඥාපති, කොමදෝරු නිලන්ත හීනටිගල මහතා ඇතුලු ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නාවික නිලධාරීන් මෙන්ම නාවිකයින් රැසක්ද, ප්‍රදේශයේ ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ උසස් නිළධාරීන් මෙන්ම විසිර ගිය නාවිකයින්ගේ දෙමාපියන්ද එම අවස්ථාව සඳහා සහභාගී වී සිටියහ.

ඉතාමත් අලංකාරවත් ලෙස පැවැත් වූ මෙම විසිරයාමේ පෙළපාලිය ආකර්ශණිය සරඹ සංදර්ශණයකින් ද සමන්විත විය. තම මූලික පුහුණු කාලසීමාව තුළදී විශේෂ කුසලතා දැක්වූ නාවිකයින් හට කුසලාන සහ සහතික පත් ප්‍රදානය කිරීමද එහිදී සිදු කෙරිණි. ඒ අනුව, 226 වන බඳවාගැනීමේ විශිෂ්ඨතම ආධුනික නාවිකයා සහ සියළුම විශයන් සඳහා වැඩිම ලකුණු ලබා ගත් ආධුනික නාවිකයා වශයෙන් ආධුනික නැවි ඊඑච්එම් සිල්වා කුසලාන හිමිකර ගන්නා ලදී. ආධුනික නැවි ඩබ්එච්එම්ටීටී හේරත් දක්ෂතම ඉලක්කකරුට හිමි කුසලානයද, ආධුනික නැවි ජේ සීසා හොඳම ක්‍රීඩකයාට හිමි කුසලානයද දිනාගත් අතර, නිල්වලා අංශය හොඳම අංශය ලෙසින් ත්‍යාග හිමි කර ගන්නා ලදී.

විසිර යන නාවිකයින් ඇමතූ රියර් අද්මිරාල් මොහොට්ටි මහතා ආධුනික නාවිකයෙකු ලෙස මූලික පුහුණුව සාර්ථකව අවසන් කළ නාවිකයන් හට සිය සුභාශිංසන එක්කළ අතර, තම දේශණය ඉදිරියටත් පවත්වමින් ප්‍රකාශ කර සිටියේ වසර 2500 කට අධික පෞඩ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලාංකිකයන් වන අප, අපගේ මව්බිම විටින් විට විදේශීය ආක්‍රමණවලට, දේශීය සන්නද්ධ අරගලවලට මෙන්ම දශක 3 කට අධික කාලයක් පැවති රුදුරු ත්‍රස්තවාදයට එරෙහිව විජයග්‍රාහීව මුහුණ දී ඒකීය ශ්‍රී ලංකාවක් වශයෙන් ඉදිරියට පියනගමින් සිටින බවයි. නාවික හමුදාවේ අනාගත මෙහෙවර ඉටු කිරීම සඳහා එක්වූ ඔබ සියළු දෙනා තම පුහුණුවෙන් ලද විනයගරුක බව හා මනා වෘත්තීමය නිපුණත්වය තුලින් යහපත් පුරවැසියන් ලෙසින් මව්බිමට මෙන්ම නාවික හමුදාවට සේවය කිරීමට අදිටන් කර ගත යුතු බවද එහිදී එතුමා ප්‍රකාශ කරන ලදී. ඔවුන්ගේ ඉදිරි නාවික ජීවිතය සමාජයට වැඩදායී පුරවැසියෙකු වශයෙන් තම දෙමාපියන්ට ආඩම්බර විය හැකි ලෙස, මව්බිමේ හා නාවික හමුදාවේ ගෞරවය ආරක්ෂා වන අයුරින් සේවය කිරීමට අදිටන් කර ගත යුතු බවද වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

සාර්ථක පුහුණුවකින් පසුව අද දින විසිර යන නාවිකයින්, තමන් උගත් න්‍යයාත්මක සිද්ධාන්තයන් ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමෙන් හා නාවික හමුදාවේ උසස් සම්ප්‍රදායන් ආරක්ෂා කරමින් මාතෘභූමියේ ඒකීයභාවය උදෙසා කැපවිය යුතු බවත් ආත්ම විශ්වාසයෙන් යුතුව යහපත් පුරවැසියෙකු වශයෙන් ඔවුන් සමාජයට එක්වනු දැකීමත් සිය ඒකායන බලාපොරොත්තුව බවද එතුමා තවදුරටත් ප්‍රකාශ කරන ලදී. එවන් ජාතික මෙහෙවරක් උදෙසා තම ආදරණීය දරුවන් නාවික හමුදාවට දායාද කළ දයාබර දෙමාපියන්හට නාවික හමුදාධිපති වෙනුවෙන් සිය හෘදයාංගම ගෞරවය හා ප්‍රණාමය පුද කරන බවද කාර්යයශූර නාවිකයන් රැසක් බිහි කිරීම සඳහා දිවා රාත්‍රී ඇප කැප වී කටයුතු කළ ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ ආඥාපතිතුමා ඇතුළු උපදේශක මණ්ඩලයේ නිලධාරීන් සහ නාවිකයන් හට ද සිය ප්‍රණාමය පුද කරන බවද එහිදී අවසාන වශයෙන් එතුමා සඳහන් කරන ලදී.