පාකිස්තානු ගුවන් හමුදාධිපති ශ්‍රී ලංකා නාවික හමුදාධිපති හමුවෙයි
 

පාකිස්තානු ගුවන් හමුදාධිපති, එයාර් චීෆ් මාෂල් සොහෙල් අමාන් මහතා අද (8) නාවික හමුදා මූලස්ථානයේ චාරිකාවාරයක නිරත වූ අතර, නාවික හමුදා සම්මාන ආචාර මුරයක් මගින් එතුමා ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. එම පිළිගැනීමෙන් අනතුරුව එයාර් චීෆ් මාෂල් අමාන් මහතා නාවික හමුදාධිපතිතුමන්ගේ කාර්යාලයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා මුණගැසිණි.

ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු රාශියක් සම්බන්ධයෙන් ඔවුන් සුහද කථාබහක නිරත වූ අතර, දෙරට අතර ඇති ඓතිහාසික සබඳතා මෙන්ම දෙරටේ හමුදාවන් අතර පවතින මිත්‍රත්වයන් තවදුරටත් වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් ද එහිදී වැඩිදුරටත් සාකච්ඡා කරන ලදී. නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා, නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල්වරුන්, නාවික හමුදා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකාවේ පාකිස්තානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක, කර්නල් මුහම්මද් රාජිල් ඉර්ෂාද් ඛාන් මහතා ද එම අවස්ථාව සහභාගී විය. එම සුවිශේෂි අවස්ථාව සනිටුහන් කරමින් දෙරටේ හමුදාධිපතිවරුන් දෙදෙනා අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.