ශ්‍රි ලංකා නාවික ඉතිහාසයේ ප්‍රථම වරට නාවික පාලක ප්‍රධාන සුළු නිලධාරියෙකු පත් කෙරේ
 

වත්මන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මැතිතුමාගේ සංකල්පයක් මත නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නාවිකයන්ට පිළිගැනිමක් ඇති කිරීම උදෙසා, නාවික හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට, නාවික පාලක ප්‍රධාන සුළු නිලධාරියෙකු අද (11) දින නාවික හමුදාධිපති තුමා විසින් පත් කරන ලදී. මේ සඳහා ජ්‍යෙෂ්ඨ නාවිකයන් අතරින් සියලුම අංශයන්ගෙන් සුදුසුකම් පරීක්ෂා කිරීමෙන් අනතුරුව, ප්‍රථම නාවික පාලක ප්‍රධාන සුළු නිලධාරී ලෙස පාලක ප්‍රධාන සුළු නිලධාරී ටී.ජී නීල්කරු - එක්ස්එස් 15959 යන ජ්‍යෙෂ්ඨ නාවිකයා පත් කරන ලදී.

මෙම තනතුරට පත් කිරීමෙන් පසුව නාවිකයන්ගේ සුභසාධනය, පුහුණුවීම් හා පරිපාලන කටයුතු තවදුරටත් කාර්යක්ෂමව කරගෙන යාමට අපේක්ෂා කෙරේ. ඒ සඳහා අධ්‍යක්ෂ ජෙනරාල් (පුද්ගල) මාර්ගයෙන් සෘජුවම නාවික හමුදාධිපතිතුමන් වෙත නිර්දේශ හා යෝජනා ඉදිරිපත් කිරිමේ වගකීම මොහු වෙත පැවරේ. එමෙන්ම නාවික හමුදාව නිල වශයෙන් සහභාගී වන රාජ්‍ය උත්සව සහ අනෙකුත් අවස්ථාවන්හිදී ජ්‍යෙෂ්ඨතම නාවිකයා ලෙස නාවික හමුදාව නියෝජනය කිරීමට හැකිවීමද මොහු වෙත ලැබෙන තවත් වරප්‍රසාදයකි.