තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 10 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

උතුරු මැද නාවික විධානයට අයත් මාන්නාරම, තාල්පාඩුහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (26) තාල්පාඩු මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 2 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී. එහිදී, ධීවර කටයුතු සඳහා යොදාගන්නා ඩිංගි යාත්‍රා 2 ක් හා තංගුස් දැල් (Monofilament Nets) 5 ක් ද අත්අඩංගුවට පත්විය. අත්අඩංගුවට ගත් පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මන්නාරම සහකාර ධීවර අධ්‍යක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

එදිනම, ලද තොරතුරකට අනුව කදිරවේලි මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරතවූ ලාංකික ධීවරයින් 8 දෙනෙකු අත් අඩංගුවට ගැනීමට නැගෙනහිර නාවික විධානයට අයත් වාකරේ හි පිහිටි, ශ්‍රීලංනානෞ කාශ්‍යප අයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සමත්විය. එහිදී ධීවර කටයුතු සඳහා යොදාගන්නා ලද ඩිංගි යාත්‍රා 2ක්, හැඹිලිය දැලක් සහ කිමිදුම් කටුයුතු සඳහා යොදාගන්නා මුහුණු ආවරණයක් අත්අඩංගුවට පත්විය. අත්අංඩගුවට පත් ධීවරයින් හා ධීවර උපකරණ ඉදිරි විමර්ශන කටයුතු සඳහා වාකරේ පොලිස් ස්ථානය වෙත භාරදෙන ලදි.