තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 10 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

තහනම් දැල් භාවිතා කරමින් නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 10 දෙනෙකු ස්ථාන දෙකකදී අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව ඊයේ (29) සමත් විය. ඒ අනුව, නැගෙනහිර නාවික විධානයට අයත් වාකරෙයි හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා කාශ්‍යප ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් කදිරවේලි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ධීවරයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී. එහිදී ධීවර කටයුතු සඳහා යොදාගත් ඩිංගි යාත්‍රා 2 ක් සහ තහනම් දැලක් ද අත්අංගුවට පත් වූ අතර, එම පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා වාකරෙයි පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

තවද, උතුරු මැද නාවික විධානයට අයත් නච්චිකුඩා හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පඩෙයිතුරෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ධීවරයින් 2 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය. එහිදී, ධීවර කටයුතු සඳහා යොදාගත් වල්ලමක් සහ තහනම් දැලක් ද අත්අඩංගුවට පත් වූ අතර, එම ධීවරයින් හා ධීවර උපකරණ ඉදිරි විමර්ශන කටයුතු සඳහා මන්නාරම ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.