තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 8 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

තහනම් දැල් භාවිතා කරමින් නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 8 දෙනෙකු ස්ථාන දෙකකදී අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව ඊයේ (30) සමත් විය. එහිදී, නැගෙනහිර නාවික විධානයට අයත් වාකරෙයි හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා කාශ්‍යප ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් කලුවන්කේනි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ධීවරයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී. එහිදී, ධීවර කටයුතු සඳහා යොදාගත් ඩිංගි යාත්‍රා 2 ක් සහ තහනම් දැල් 2 ක්ද අත්අංගුවට පත් වූ අතර, එම පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මඩකළපුව සහකාර ධීවර අධ්‍යක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

තවද, වයඹ නාවික විධානයට අයත් මුල්ලිකුලම් හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා භරණ ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් කෝලන්කනත්ත ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ධීවරයින් 2 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය. එහිදී, ධීවර කටයුතු සඳහා යොදාගත් ඩිංගි යාත්‍රා 2 ක් සහ තහනම් දැල් 2 ක්ද අත්අඩංගුවට පත් වූ අතර, එම ධීවරයින් හා ධීවර උපකරණ ඉදිරි විමර්ශන කටයුතු සඳහා පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂක කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.