නීතිවිරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ ධීවරයින් තිදෙනෙක් නාවික හමුදා අත්අඩංගුවට
 

නැ‍ගෙනහිර නාවික විධානයට අයත්, ත්‍රිකුණාමලය හි පිහිටි 4 වන වේග ප්‍රහාරක මුර යාත්‍රා බලඝණයට අනුයුක්ත පී 436 යාත්‍රාවේ රාජකාරී නියුතු නිලධාරීන් සහ නාවිකයන් පිරිසක් විසින් අද (1) වලයානමාදම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී අනුමත දුර ප්‍රමාණය ඉක්මවා මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි ලාංකික ධීවරයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

එහිදී මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 15 ක්, ඩිංගි යාත්‍රාවක්, පාවරල් යුගල් 2 ක්, ඔක්සිජන් සිලින්ඩර් 10 ක් සහ GPS යන්ත්‍රයක් ද අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් පුද්ගලයන් සහ භාණ්ඩ මුලතිව් හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ගෝඨාභය ආයතනය වෙත ගෙන ඒමෙන් අනතුරුව, ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මුලතිව් පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.